විජේපාල දිසානායක විසිනි.
1960 තරම් ඈත කාලයක ජර්මනියේ සිටි මානව විද්‍යාඥයෙකු වූ එරික් ෆ්‍රොම් (Erich Fromm) සිදුකල ප්‍රකාශයකින් මෙම සටහනට ප්‍රවේශයක් ලබා ගැනීම සුදුසු බව හැඟෙයි. එනම් “අතීතයේ පැවති අනතුර වූයේ මිනිසුන් වහලුන් වීමයි. අනාගතයේ සිදුවිය හැකි අනතුර වන්නේ මිනිසුන් රොබෝවරුන් බවට පත්වීමයි.” එයින් ඔහු අදහස් කලේ, වහල් සමාජය තුල ක්‍රියාත්මක වූ විවිධ පීඩනයන් හා බලහත්කාරයන් ගැනය. එනම් රජවරුන්, අධිරාජ්‍යයන්, පල්ලිය හෝ ස්වාමිවරුන් විසින් මිනිසුන් පාලනය කරනු ලැබිය. එහිදී බිය, ප්‍රචණ්ඩත්වය, සහ නීතිය හරහා කීකරුකම බලාත්මක කරන ලදී. ආධිපත්‍යය පිටතින් පැමිණි දෙයක් නිසා මිනිසුන් තමන් නිදහස් නොවන බව දැන සිටියහ. නමුත් අනාගත රොබෝ තත්වයකදී මිනිසුන් කීකරු වන්නේ ඔවුන්ට බල කරන නිසා නොව, කීකරුකම සාමාන්‍ය දෙයක් ලෙස හැඟෙන නිසාය. එනම් වහල්භාවයේ දී, ආත්මය තලා දමනු ලැබිය. එහෙත් රොබෝ පැවැත්මේ දී, ආත්මය හිස් කරනු ලැබේ.
ශ්‍රී ලංකාවේ එවකට පැවතී ඝෝඨාභය පරිපාලනයට එරෙහිව, මිනිසුන් සටන් පාඨ කියමින්, කෝපයෙන් අරගල කළේය. එහිදී දක්නට ලැබුනේ වෛරී, සහ ඝෝෂාකාරී හඬකින් සොරුන්, ද්‍රෝහීන්, බොරුකාරයන් යන සදාචාරාත්මක කෝපය මුසු භාෂාවේ දෝංකාරයයි. ඒ සමාජ විරෝධය සිය දේශපාලන ජයග්‍රහණයක් ලෙස යොදා ගනිමින් වත්මන් ජවිපෙ මුලික NPP සන්ධාන ආණ්ඩුව රාජ්‍ය බලය ලබා ගැනීමට සමත් විය. අද ඔවුන්ගේ රාජ්‍ය පාලනයට එරෙහිව සමාජය වෙතින් මතුව එන විරෝධය, කෝපය වෙනුවට ඊටත් වඩා නොසන්සුන් එහෙත් වෙනස් මුහුණුවරක් ගෙන තිබේ.
රජය නියෝජනය කරන ප්‍රභල ඇමතිවරයෙක් හෝ වෙන යම් නියෝජිතයෙක් සිදු කරන ඕනෑම ප්‍රකාශයකට අන්තර්ක්‍රියා (Interaction) ලෙස සමාජ මාධ්‍ය තුල සිනාසෙන මුහුණක් සහිත ඉමොජියකින් ප්‍රතිචාර දක්වයි.
ජනාධිපතිවරයාගේ ප්‍රකාශයක් නිකුත්වූ සැනින් එය ප්‍රවෘත්තියක් වීමටත් පෙර විහිළුවක් බවට පත්වන ස්ටිකරයක් බවට පත්වී සමාජ මාධ්‍ය තුල වේගයෙන් සැරිසරයි.
ආණ්ඩුවේ කිසියම් වගකිව යුත්තෙක්, හෝ නිලධාරියෙක් හාත්ස්‍යයට ලක් කිරීමට භාවිතා කරන “සිනහ මුහුණ” හුදෙක්ම දේශපාලන උදාසීනත්වය ප්‍රකාශ කිරීමක් නොවේ. එමගින් ඒකාබද්ධ බරපතල දේශපාලන ප්‍රකාශනයක් රැගෙන එයි. එනම් අවිශ්වාසය, ප්‍රතිරෝධය, කලකිරීම, සහ නොසලකා හැරීම වැනි සාමූහික විනිශ්චයන් තනි සංකේතයකින් සංඥා කරනු ලබයි. දේශපාලන අධිකාරිය කෙරෙහි විශ්වාසය ඛාදනය වී ඇති තත්වයක, සිනහව පුරවැසිභාවයේ අවසාන භාෂාව බවට පත්ව ඇත්තේ එලෙසිනි.
කෙටියෙන් කිවහොත්, මේ දිනවල සමාජ මාධ්‍ය තුල අපට හමුවන සිනහ මුහුණ අහිංසක එකක් නොවේ. එය නිහඬව, සාමූහිකව සහ සමච්චල් සහගත සිනහවකින් ආපසු කතා කරන බලයකි.
මෙය හුදු විරෝධතාවක් පමණක් නොවේ. සාම්ප්‍රදායික අර්ථයෙන් විවේචනයක් පමණක්ද නොවේ. එය දේශපාලන අධිකාරි බලය තවදුරටත් කිසිසේත් බැරෑරුම් ලෙස සැලකීම නතර කරන මොහොතකි.
NPP ආණ්ඩුකරණයට වසරකුත් මාස කීපයක් ඇතුලත පුරවැසි සමාජයෙන් එවන් ප්‍රතිචාර ලැබෙන්නේ ඇයි?. එහි සලකා බැලිය යුතු දේශපාලන සමාජ විද්‍යාවක් ඇත. මෙය සමාජ විද්‍යාඥ එමිල් ඩර්කයිම්ට (Emile Durkheim) අනුව පවසන්නේ නම්, සාමූහික සමාජ විඥානය පිළිබඳ අදහස මත පදනම්ව, ආණ්ඩුවකට සමච්චල් කිරීම කොන්කර දැමීමේ ආකාරයක් ලෙස ක්‍රියා කරනු ලබයි. මෙහි සිනහවකින් ප්‍රතිචාර දැක්වීම පාලන අධිකාරිය විහිළුවක් සේ සැලකීමකි. සමාජයට ආණ්ඩුව සිදුකරන බොහෝදේ දිස් වන්නේ විහිලුකරුවන්ගේ නාටකයක් මෙනි. එයට ප්‍රතිචාර ලෙස රැගෙන එන සිනහ මුහුණ හුදු විනෝදයක් පමණක් නොව සාමුහික අනුමැතියකි.
මෙහි ඇති බරපතලකම වන්නේ ආණ්ඩුවත් සමග සාමුහික සමාජය ගැටෙන්නේ හොරුන්, දුෂිතයින්, වන්චාකරයින්, ආදී ප්‍රචණ්ඩ ආකෘතියකින් නොව ජෝකර් කෙනෙක් හා සමාන ගනුදෙනු කරන්නෙක් මෙනි. ඒ අනුව සදාචාරාත්මක විනිශ්චය ප්‍රකාශ කරන පුද්ගලයා, දේශපාලන අධිකාරිය සමග තවදුරටත් බැරෑරුම් බැඳීමකට හෝ ගනුදෙනුවකට සුදුසු නොවන බවට සලකුණු කරයි.
සුළුකොට තැකීමේ දේශපාලනය අනතුරුදායකය.
කිසියම් රටක පාලන අධිකාරියක් විහිළුකාරයින් ලෙස සමාජය තුල තහවුරු වීමේදී පුරවැසි කතිකාව බැරෑරුම් නොවන සරල ප්‍රවේශයන් වෙත යොමුවේ. එනම් පාලකයින්ගේ ප්‍රකාශ තවදුරටත් සංවාදයට ලක් නොකෙරේ. ඒවා උපහාසයට ලක් කෙරේ. මහජනතාව ඔවුන්ගේ කතාවලට වගකීමකින් යුතුව සවන් නොදෙනවා පමණක් නොව ඒවා හාත්ස්‍ය උපදවන වීඩියෝ දර්ශන වලට පමණක් ක්ලිප් කරනු ලැබේ.
දේශපාලන සමාජ විද්‍යාඥයින් විසින් පාලන අධිකාරිය සුළු කොට සලකා නොසලකා හැරීම ලෙස විග්‍රහ කරන්නේ මෙම සිද්ධාන්තයයි. එලෙස පාලක ආණ්ඩුවක් පුරවැසියන්ගේ නොසැලකීමට ලක් වීමේදී, ආණ්ඩුවක බලය ජනතාව ඉදිරියේ පෙනී සිටීමේ ගෞරවය, ඉවසීම හෝ විශ්වාසය, ජනතාව සංවිධානය කිරීමේ හැකියාව, ආදී අත්‍යවශ්‍ය ගුණාංග ස්වාභාවිකවම අහෝසි වී යයි.
මෙවැනි තත්වයකට ප්‍රතිචාර ලෙස සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් දෙස ඔරවා බැලීම හෝ බලපෑම් කිරීම පිළිතුර නොවේ. එසෙත් නොමැතිනම ඔවුන් CID කැඳවීම හෝ පොලිසිය යොදවා නඩු ඇසීමද පිළියම නොවේ. එහෙත් අද බොහෝ විට දක්නට ලැබෙන්නේ එවැනි පීඩාකාරී, අදේශපාලනික ප්‍රවනතාවන්ය.
ආණ්ඩුවෙන් විහිළුවක් සපයන තෙක් බලා සිටින සමාජයක්!
අද අපේ රටේ ජනාධිපතිවරයාගේ සිට අගමැතිවරිය දක්වා, සහ කැබිනට් අමාත්‍යවරුන්ගේ සිට පසුපෙළ මන්ත්‍රීවරුන් දක්වාවූ දේශපාලන ඒජන්තයින්ගේ ප්‍රසිද්ධ කතා සමාජය බැරෑරුම්ව සලකන්නේ නැත. මෙයට පාදක වූ විෂය මුලික නිදර්ශන නිමක් නැති ලැයිස්තුවකින් පෙන්වා දිය හැකි අතර ඉන් කීපයක් පමණක් දැක්විය හැක.
දිත්වා කුනාටු ආපදාවෙන් පසුව වින්දිතයින්ට සහන සැලසීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා සිදුකල ප්‍රකාශයකින් කියවුනේ “තහඩුවක් ගියත් ලක්ෂ දහයක් දෙනවා” යනුවෙනි. එහෙත් ප්‍රයෝගික ලෝකයේදී එවැනි දෙයක් දක්නට නොමැත.
තවත් උදාහරණයක් වන්නේ අධ්‍යාපන අමාත්‍යංශයේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් සැකසු මොඩියුලයක දෝෂයක් ඇති බවට එම අමාත්‍යංශයේ ලේකම් විසින් CID ට පැමිණිලි කිරීමයි. ඇත්තෙන්ම මේවා විකාර සහගත රට්ටු හිනස්සවන මෝඩ වැඩ බව නොරහසකි. තවත් මැති ඇමතිවරුන්ගේ කතා සමාජයට සිනා සාගරයක් රැගෙන එයි.
මෙවැනි වට පිටාවක ආණ්ඩුව පවත්වන ඕනෑම මාධ්‍ය සාකච්ඡාවක් හුදු කොමඩි රංගනයන් මෙන් මහජන අවකාශය තේරුම් ගනී. එමෙන්ම වල් පැල ඉවත්කර මල් පැලවලින් පුරවපු පාර්ලිමේන්තුව, අද එහි පවතින විවාද පෙරහුරු කරන ලද නාට්‍ය ශාලාවකට සමාන ය.
එබැවින් බලධාරීන්ගේ ප්‍රකාශ සමාජයට තවදුරටත් අර්ථ කැටුව නොඑන අතර ඒවාට අවධානයෙන් සවන් නොදෙන යථාර්තයක් නිර්මාණය වෙමින් ඇත. එසේ නමුත් ඔවුන්ගේ ප්‍රකාශ උපුටා දක්වමින් හාත්ස්‍ය ගොඩනැගීම පුරුද්දක් ලෙස අඛණ්ඩ වේගයකින් සමාජ මාධ්‍ය අවකාශ හරහා සැරිසරමින් ඇත. ඒවායින් දේශපාලන විනෝදය අපේක්ෂා කරන පිරිස් ආණ්ඩුවේ ඊළඟ විකාර විහිළුව පැමිණෙන තෙක් පරීක්ෂාවෙන් සහ සීරුවෙන් බලා සිටිනු දක්නට ලැබේ.
ඇත්ත වශයෙන්ම සමාජ මාධ්‍ය මෙම තත්ත්වය ස්වේච්ඡාවෙන් නිර්මාණය කළේ නැත. එම ක්‍රියාකාරිත්වය විසින් සිදු කලේ කාටත් ප්‍රථම මෙම දේශපාලන උත්ප්‍රාසය හෙළිදරව් කිරීමය. එය කෙතරම් ප්‍රභල වී ඇත්ද යත්, සිනහ මුහුණ අද දවසේ අප රටේ විපක්ෂයේ සියලු දේශපාලන ආඛ්‍යාන වලට වඩා වඩාත්ම කාර්යක්ෂම දේශපාලන භාෂාව බවට පත්ව අවසන්ය. ඇතැම් විට විපක්ෂ කඳවුර පවා සිය දෛනික දේශපාලන කටගැස්ම සරි කර ගන්නේ සමාජ මාධ්‍ය තුල රස්තියාදු ගැසීමෙනි. එය වෙනම කතා කල යුතු මාතෘකාවක් බව කිව යුතුය.
යම් දිනෙක රාජ්‍ය බලය අපේක්ෂාවෙන් ඉන්න විපක්ෂයේ මහත්වරුන්ද මේ තත්වය නිවැරදිව කියවා ගැනීම දේශපාලන සෞඛ්‍යට ඉතාමත් හිතකරය. එනම් සිනහ මුහුණෙන් රැගෙන එන සංකේතිය පණිවිඩය (Symbolic Message) වන්නේ, “අපිට නුඹලාව ඇහෙනවා, නමුත් අපි නුඹලාව විශ්වාස කරන්නේ නැහැ” යනු ඒ පණිවිඩයයි.
න්‍යාය සහ භාවිතය අතර ගොඩනැගෙන පරස්පරතාවය.
මෙම මහජන අවිශ්වාසයේ මුල තනි පුද්ගල සාධක හෝ අඩුපාඩු වලට වඩා ගැඹුරු කලාපයකට විහිදී යයි. වත්මන් NPP ආණ්ඩුවට අදාලව එය දරුණු පරස්පර විරෝධීතාවයකින් පෝෂණයවී වැඩි වර්ධනය වන දෙයකි.
විශේෂයෙන් බලය ලබා ගැනීම පමණක් අරමුණු කරගෙන සිදුකල බොහෝ ව්‍යාජ දේශනා සහ බලය අත්පත් කර ගැනීමෙන් පසු අද ක්‍රියාත්මක වන ප්‍රායෝගික දේ අතර පවතින නිරුවත් පරස්පරය දෙස බලන්න. ඇමරිකන් යැංකි බලහත්කාරය විසින් වෙනිසුලාව වෙත මුදාහල මිලිටරි ආක්‍රමණය ඉදිරියේ වෙනිසුලාවටත් වඩා අද අසරණව සිටින්නේ ලංකාවේ පාලක ජවිපෙ ඊනියා වාමාංශික ආණ්ඩුවයි. ඉඳින්, පුරවැසියන් ඔවුන්ට සිනාසීම අරුමයක් නොවේ.
ඓතිහාසිකව ජනතා විමුක්ති පෙරමුණ සිය වාමාංශික දෘෂ්ටිවාදී සම්ප්‍රදාය තුල ආගම සැලකුවේ සමාජයක් නිර්වින්දනය කරන “අබිං” වැනි දෙයක් ලෙසය. එම ඉගැන්වීමට අනුව අද ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙක් වගේම පාර්ලිමේන්තුවේ සභා නායකයාද වන බිමල් රත්නායක ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටියේ ගස් ගල් සහ ප්‍රතිමා වන්දනාව, ගෝත්‍රික සමාජයට අයිති පුරුද්දක් බවය.
කෙසේ වෙතත්, අද වන විට, රටේ පාලන බලය හොබවන එම දේශපාලන පරම්පරාවම ආගමික යුක්තිය පතා වෙහෙර විහාර, දේවාල, පමණක් නොව දළදා මාලිගාවද වන්දනාවට යන්නේ රුපවාහිනී, ඇතුළු මාධ්‍ය කැමරා අටවාගෙනය.
ජනාධිපතිවරයා කිසියම් ජාතික වැදගත්කමක් ඇති කටයුත්තක් වෙනුවෙන් රටේ ප්‍රධාන මහානායක හිමිවරුන් බැහැ දැකීමට යාමේ පුවත පවා සමච්චලයට ලක්වන්නේ ඔවුන්ගේ ඓතිහාසික වැරදකාරිත්වය පුපුරා යාමක් ලෙසය. රටක වෙසෙන මිනිසුන් තමන් පාලනය කරන්නේ විහිළුකාරයින් පිරිසක් ලෙස සලකන කල්හි, පාලක බලයට හිමි ආකර්ෂණ බලය අහෝසිවී යයි. එවැනි තත්වයකදී අධිකාරියේ නියෝග කෙරෙහි පාලිතයින් තවදුරටත් අවනත වන්නේ නැත.
සිස්ටම් චේන්ජ් වෙනුවට බලයේ ඛාදනයක්.
තම පාලනයට එදිරිව සමාජයෙන් මතුව එන උත්ප්‍රාසයේ බලවත් ඛේදවාචකය වන්නේ, අදාළ බලධාරීන් බොහෝ විට ඒ සිනහව තමා හමුවට එන රැකවරණයක් ලෙස වරදවා වටහා ගැනීමයි. එනම් විරෝධතාවලට වඩා විහිළු හොඳ බව, පෙළපාලිවලට වඩා වීඩියෝ කාටුන් සුවපහසු බව ඔවුන් විශ්වාස කරන බව දක්නට ඇත.
මෙවැනි නිර්ධය සමච්චල් කිරීම් පාලනය කෙරෙහි උපන් අනුකම්පාවක් නිසා නොවන බව ඔවුන් තේරුම් ගැනීමට අසමත්ව තිබේ. එනිසාම එකම වරද නැවත නැවතත්, එකම දේ තව තවත් ආදී ලෙස උත්ප්‍රාසයන් ගලා ඒම පුරුද්දක් බවට පත් වී ඇත. එය සාමාන්‍යකරණය වීමෙන් තම පාලකයන්ට සිනාසෙන සමාජයක් දක්වා වැඩි වර්ධනය වී රාජ්‍ය පාලනය හුදු විකාරයක් වන තරමට රූපාන්තරණය වෙමින් තිබේ.
ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය පරික්ෂා කිරීමේදී පෙනී යන්නේ, එය සදාචාරාත්මක පිබිදීම් වගේම කලකිරීමේ සහ බිඳවැටීමේ චක්‍රවලින් පිරී ඇති බවයි. අද අපට දක්නට ලැබෙන්නේ එහි නව ස්වරුපයකි. එනම් දේශපාලන අධිකාරිය කෙරෙහි වූ සමාජ කලකිරීම උපහාසය දක්වා පරිණත වී ඇති ආකාරයයි. අනතුරුව එකී උපහාසය උදාසීනත්වයක් දක්වා දැඩි වී ප්‍රසාරණය වෙමින් ඇත.
එනිසා පාලකයින්ගේ සෑම ප්‍රකාශයක්ම සිනහ මුහුණකින් පිළිගැනීමට සමාජය සාමුහික වෙමින් තිබේ. ඒ වගේම, සෑම ප්‍රතිවිරෝධතාවක්ම විනෝදාස්වාදය බවට පත් වීම නොවැලක්විය හැක. එය දිත්වා සුළි කුනාටු ව්‍යසනය සහ පශ්චාත් ආපදා කළමනාකරණයේ සිට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පවා විහිළු ලෙස අවශෝෂණය වී එහි පැවතිය යුතු සාධනීය අර්ථය අහෝසි වීමේ අවධානමක් පවතී. එසේ වීමෙන් සිදුවන්නේ පාලන අධිකාරියක පැවතිය යුතු “බලය” නමැති අත්‍යාවශ්‍ය ගුණාංගය වැහැරී යාමයි.
බලයේ අර්ථය අහෝසි වූ පසු, බලය පෙරලා දැමීමට අවශ්‍ය නොවේ. එය තමන්ගේම විකාරයේ බරට යට වී නිහඬව කඩා වැටීමට නියමිතය.
“සිනහ මුහුණ” එතරම්ම ප්‍රභලය..

සටහන: විජේපාල දිසානායක
භාණ්ඩාගාරික
ආසියානු භූ දේශපාලන තිරසතාවය, සහ සාමය සඳහා වූ කවුන්සිලය
Asian Geopolitical Sustainability & Peace Council. (AGSPeC)
Email: [email protected]



