Saturday, February 14, 2026
spot_img

Latest Posts

විපක්ෂයේ වැදගත්කම

ටිකිරිගේ විපක්ෂ කොළම  05


ගියවර කොළමෙන් අපි කතා කලේ සජබය හා සජිත් ට ආණ්ඩු පෙරළීමට හැකිද යන්නය. මෙවර අප කතා කරන්නේ විපක්ෂයේ "වැදගත්කම්"  ගැනය. එනම් විපක්ෂයක් අවශ්‍ය මන්දැයි යන්න නොව මේ මොහොතේ විපක්ෂය කෙතරම් වැදගත් ලෙස හැසිරෙන්නේද යන්නය. රිදී රේඛාවක් ජනිතව තිබේ. අපගේ විවේචන විපක්ෂය මරා දැමීමට නොව ශක්තිමත් කිරීමට ය.

හරිනි අමරසූරිය අධ්‍යාපන ඇමතිවරිය සිය ලිංගික මතවාදය රහසේම අධ්‍යාපනයට ඇතුළු කර රට අවුළුවා තිබේ. සමලිංගිකත්වය උලුප්පා දැමීමට අවශ්‍ය සියළු දේ කරද්දීත් හරිනි හැංගුනේ චීවරය අස්සේය. අනුරගේ ආණ්ඩුව කරන ඕනෑම බෞද්ධ විරෝධී හා සමාජ විරෝධී කාර්‍යයක් මල්වතු පාර්ශ්වය විසින් අනුමත කරනු ලබන බවට චෝදනා නැගෙයි. එහි සත්‍යතාවයන් මත බද්ධ වන්නේ ඉන්දීය ඩොලර් මිලියන 15 ක් පන්සල් වෙත ලබා දීම හා අල්ලී රාජා සුබාෂ්කරන් පන්සල් වල ප්‍රධාන අනුග්‍රාහක බවට පත්ව තිබීමය. කෙසේ නමුත් හරිනි අනුර ආරක්ෂාව සොයන්නේ පන්සල් වල, එහෙත් පන්සල් වලට එරෙහිවය.  මල්වතු පාර්ශවය මෙය කොපමණ කාලයක් ආරක්ෂා කරාවී  දැයි නොදනිමි. කොමපන කලකින් වටහා ගන්නේදැයි නොදනිමි.

සජිත් ප්‍රමුඛ විපක්ෂය හරිනිගේ gender ideology හා බලහත් කාරයෙන් නින්දිත ලෙස හයේ පොත විකෘති කිරීමෙන් ආරම්භ වූ අර්බුධයේ දී හරිනි අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉවත්විය යුතු බවට කෙරෙන තර්කය සාධාරණවේ. හරිනි  හය ශ්‍රේණියේ පුරවැසි අධ්‍යාපනයට අදාළ පෙළපොත LGBTQ + ආකර්ෂණයට යොදා තිබේ. දේදුනු වර්ණ ගන්වා ඇති එය ලෝකයේ කොහේවත් එවැනි වසරක දරුවකුට දෙන සංඥාමය අධ්‍යාපනයක් නොවේ.

සජබය මේ මොහොතේ කටයුතු කරන ආකාරය අගය කල යුතුය. සජබයේ අනුගාමිකයන්, සමාජමාධ්‍ය ක්‍රියාකාරීන් සමලිංගිකත්වයට එරෙහිව සමාජ වෛරය ගොඩ නැගෙන ලෙස කටයුතු කරනුයේ සීමිත වශයෙනි. සජබයට සාපේක්ෂව පොහොට්ටුව තාර්කික බව නොව අපහාසය මුල් කරගෙන කටයුතු කරනු පෙනුණි. එහෙත් පොහොට්ටුවේ ඇතැම් තරුණ උගත් පිරිස් තාර්කිකව කරුණු දක්වනු පෙනුණි. මේවා විපක්ෂයක වර්ධනය ගැන කිසියම් ධනාත්මක ප්‍රවණතාවන්  වේ. අර්බුධ හමුවේ ප්‍රදර්ශනය වන්නේ නිරතුරුවම ධනාත්මක වර්ධනයන් ය.

සජබය ගෙනෙන විශ්වාශ භංගය පරාජය වනු ඇත. හරිනි වැරද්ද කර, චීවරයේ පිහිට පතා පැමිණ,  ලොකු කතාවක්ද කීවාය.මේවා අනුව නම් හරිනි සිටින්නේ තම වංක උත්සාහය ජයග්‍රහණය කරගෙනය. එහෙත් සජිත්ගේ විපක්ෂය පාරාජය වන්නට “විශ්වාස භංගයක්”  ගෙන ඒම තුලම විපක්ෂය විසින්  “ප්‍රජාතන්ත්‍රවාදය”  ආරක්ෂා කිරීමේ “රිදී රේඛාව” මේ මොහොතේ ලියුම්කාරිය ට අස්වැසිල්ලකි.

ආණ්ඩුවේ ප්‍රධානියා ජනාධිපති “හැප්පිලා බලමු” යයි වැනි වචන වලින් චන්ඩි කම් පාමින්, හරිනි ගේ අළුත් චන්ඩිකම් අත්  විඳින ලාංකීය ප්‍රජාතන්ත්‍රවාදයට “ප්‍රජාතන්තරවාදී උපකරණ”බාවිතා කරමින්  (democratic instrument)  විශ්වාශ භංගයක් ගෙන ඒමම යහපත් ප්‍රවණතාවකි.සජබය මේ සතියේ පැහැදිලි වර්ධනයක් පෙන්වමින් සිටී. ඒ මහජන ආරක්ෂක අමාත්‍යංශය  යටතේ ශ්‍රී ලංකාවේ සලකුණ වෙනස් කර  “සිංහයා” වෙනුවට එළුවා ඇතුල් කිරීමේ කුමන්ත්‍රණය  සුක්ෂමව හඳුනාගෙන එයට එරෙහිවිමය.

 කොටි ඩය්ස්ෆොරාවට ජාත්‍යන්තරයේ ලංකාව ම්ලේච්ච සිංහල ජනතාවගේ බලය ඇති රටක් යයි කීමට ඔවුන් සිංහයා සම්ච්චලයට ලක්කරන හැටි ලියුම් කාරිය අත්විඳ තිබේ. භාෂා පන්තිවල හා සාමුහික රැස්වීම වලදී කොටි හිතවාදින් සිංහයා එළුවාට සමාන කර සමච්චල් කරති. මහජන ආරක්ෂක අමාත්‍යංශයේ සිදුවුයේ  අහම්බයක් නොවේ. ධර්ම චක්‍රය වෙනුවට වෙනත් චක්‍රයක් ඇතුලත් කිරීම සිදුව තිබේ. මේවා අහම්බ ලෙස වටහා නොගෙන ක්‍රියාත්මක වීම පැහැදිලි ප්‍රගතියකි.

ඉහත අධ්‍යාපනය සම්බන්ධ ගැටළුව හා මහජන ආරක්ෂක අමාත්‍යංශය වෙනුවෙන් දැක්වූ අවධානය අනුව  විපක්ෂය තුල සජබය හුදු විරෝධතා වලට එහා ගිය වර්ධනයක් අත් කරගනිමින් තිබීම යහපත් ප්‍රජාතන්ත්‍ර ලක්ෂණ පෙන්වයි. මේ කරුණු දෙකම ජාතික වැදගත්කමක් හා ස්වෛරීතත්වය වෙනුවෙන් දැක්වූ අවධානයකි. කියන්නට ඇත්තේ ඔය ගැම්මෙන්ම ඉදිරියට වැඩ කරන ලෙසය.  

සජබය තුල කාන්තාවන් වැඩිදුර අයිතීන් ලබමින් සිටියේ මාලිමාවට පෙරය. සනීපාරක්ෂක තුවා සහ පාසල සජබයට කලින්ම මාතෘකාවක් විය. එතැනදී සජිත්ව සමච්චලයට ලක් වුණත් සජිත් විෂය හා ප්‍රජාතන්ත්‍රවාදය තුල මිස හරිනිගේ ක්‍රියාකලාපයට අපහාස  නොකරයි. හරිනිගේ භාෂා විලාශය පොෂ් වෙන්නට ගියත් අදහස් රස්තියාදුය. පාර්ලිමේන්තුව තුල යම් ඍන  සංවාදයක් පැමිණ තිබුණද රෝහිණි කවිරත්න  මන්ත්‍රීවරිය හෝ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර යන ලංකාවේ ක්‍රියාකාරී දේශපාලනයේ කාන්තාවන්,  හරිනිගේ පිල විසින් දැඩි ලෙස අපහාසයට ලක්කරන විට හරිනි  ඒ අපහාසවලට එරෙහිව   වචනයක් වත් කීවේ නැත.එදා හරිනි සිටියේ විපක්ෂයේය.  හරිනි ඒවා සිනහමුසු මුහුණින් රසවිඳිනු පෙනුණි. සජබය සාපේක්ෂව සාධනීය ලෙස ක්‍රියාකර තිබේ.

සජිත් කාන්තාවන්ට ගරුකරන මිනිසකු බව අසා ඇත්තෙමි. නාමල් ඒ දෙසට තම අනුගාමික ප්‍රජාව මෙහයවිය යුතුය. නැතිනම් නාමල් ජවිපෙ අගතිගාමී දායක සභාවෙන් තම දායක සභාව වෙන්කර ගැනීමේ අර්බුධයකට මුහුණ දෙණු  ඇත. ජවිපය තුල හා එයට එක්වූ මාලිමාව තුල ඇති සමාන බව නිසාම නාමල් “වැදගත් වීමට”  සුදානම් වුවහොත් ඔහුට ආපසු 68 ලක්ෂය දිනා ගැනීමට අපහසු වනු ඇත.ඒ දායක සභාව හුරු වී ඇත්තේ බොරු කියන කයිවාරු ගහන අනුරලාගේ දේශපාලනයට ය.  දැනටමත් නාමල් ඒ අභියෝගයට මුහුණ දී සිටියි. සජිත් නාමල් විපක්ෂයේ සිට ප්‍රජාතන්ත්‍රවාදී වීමෙන්  සාධනීය වෙනසක් කල යුතුවා සේම වැදගත් ,මනුසත් දේශපාලනයකට තම අනුගාමිකයන්ට බල කිරීම උපක්‍රමශිලිව හෝ කල යුතුය. නාමල් වරක් එය මාතලේදී හොඳින් කරනු පෙනුණි.

අපිට මාලිමාව තුලින් යහපත් ප්‍රජාතන්ත්‍රවාදයක්, මනුෂ්‍යත්වයක් හා ප්‍රතිපත්තිගරුක දේශපාලනයක් අපේක්ෂා කල නොහැකිය. ඒ බව අනුරගේ සිට හරිනි දක්වාම මේ වන විට ප්‍රකට කර තිබේ. ඔප්පු කර තිබේ. ඒ නිසා පසුගිය සතිය විපක්ෂය ලකුණු දමාගත් සතියකි. විපක්ෂයක් ශක්තිමත් නොවී රටක් ශක්තිමත් කළ නොහැකිය. අගතිගාමී, වෛරී, 68 ලක්ෂයක චන්ද දායකයන් සංඛ්‍යාවක් වැදගත් කර, දේශපාලන සාක්ෂරතාවයට ගෙන ආ හැක්කේ සජිත් නාමල් විපක්ෂය තුල සිට ඒ වෙනුවෙන් කැපවීමෙනි.

මතු සම්බන්ධයි.

ටිකිරි සුභාෂිණි විෆ්ලර්

නීතිවේදිනි, අන්තර්ග්‍රහණය පිළබඳ කළමනාකාරිණි (ජර්මනිය)

විධායක අධ්‍යක්ෂිකා – ශ්‍රී ලංකාවේ දේශපාලන හා ආර්ථික අපරාධ අධීක්ෂණය කිරීමේ ගෝලීය මධ්‍යස්ථානය(ජර්මනිය)

Latest Posts

spot_imgspot_img