විශේෂ ලියුම්කරුවෙකු ගේ සටහනක්
ජාතියක් කම්පනයට ලක්කළ ඩිට්වා සුළි කුණාටුව
2025 නොවැම්බර් මස අවසානයේදී ශ්‍රී ලංකාවට ඩිට්වා සුළි කුණාටුව බලපෑ අතර, එය දිවයිනේ දිස්ත්‍රික්ක 25 පුරාවටම ඉමහත් ව්‍යසනයක් මුදා හැරියේය. දැවැන්ත ගංවතුර, නායයෑම්, නිවාස විනාශය, යටිතල පහසුකම් බිඳවැටීම් සහ පුළුල් ලෙස අවතැන් වීම් සෑම ප්රදේශයකින්ම වාර්තා විය.
මෙම ව්‍යසනය ජාතියම සොලවා දැමුවා පමණක් නොව ආපදා කෙරෙහි දැක්වූ අලස ප්‍රතිචාර හමුවේ දේශපාලන අධිකාරියේ අතිමහත් අකාර්යක්ෂමතා රැසක්ද හෙළිදරව් කර ඇත. මරණ සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ යමින් පවතින අතර, දහස් ගණනක් අතුරුදහන් වී හෝ අවතැන් වී සිටිති. එපමණක්ද නොව ලක්ෂ සංඛ්‍යාත පිරිසකට මූලික සේවාවන් සඳහා ප්‍රවේශය අහිමි වී ඇත. (රොයිටර්)
මෙම බිහිසුණු ආපදාවට ප්‍රතිචාර වශයෙන්, අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරය දරන, පුළුල් සන්ධානයක් වන ජාතික ජන බලවේගය (NPP) තුළ ජනතා විමුක්ති පෙරමුණ (JVP) නායකත්වයෙන් යුත් රජය 2025 නොවැම්බර් 28 වන දින රට පුරා හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කළේය.
පශ්චාත් ආපදා ප්‍රතිචාර කළමනාකරණ අවශ්‍යතාවයක් යැයි නිල වශයෙන් යුක්ති සහගත කරන ලද එම හදිසි අවස්ථාව, බොහෝ දෙනා අවස්ථාවාදීව කළමනාකරණ සීමා ඉක්මවා යාමක් ලෙස දකී. ආණ්ඩුවේ මෙම උපාය මාර්ගය කෙරෙහි සිවිල් සමාජය, මාධ්‍ය සංවිධාන, සහ විරුද්ධ දේශපාලන මතධාරී කණ්ඩායම් වල දැනටමත් තියුණු විවේචනයට ලක්ව ඇත. ඔවුන් පෙන්වා දෙන්නේ රටට වඩාත්ම අවශ්‍ය වන මොහොතක ආණ්ඩුව සිවිල් නිදහස සමඟ සූදුවක නිරතවන බවයි.
මෙය හුදෙක් පරිපාලන අකාර්යක්ෂමතාවයකට වඩා එහා ගිය දේශපාලනික උප්පරවැට්ටියක් ලෙස මතුවෙමින් තිබේ.
අර්බුදයේ ගැඹුර මෙන්ම දේශපාලනයේ වෙස් මුහුණුද හඳුනා ගනිමු.
සිදුවිය හැකි ව්‍යසනය පිලිබඳ විවිධ මට්ටමේ අනතුරු ඇඟවීම් පවතිද්දී, එයට අලසව මුහුණ දීමට සිදු වුයේ මන්දැයි තේරුම් ගැනීමට, පාලක ජනතා විමුක්ති පෙරමුණ මුලික මාලිමා පරිපාලනයේ ඉතිහාසය, ස්වභාවය, සහ දෘෂ්ටිවාදාත්මක ස්ථාවරය විමසුමට ලක් කල යුතුය.
1965 දී පමණ සමාජවාදී විප්ලවයට කැප වූ රැඩිකල් වාමාංශික පක්ෂයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ ආරම්භ කරන ලදී.
එහි නායක, වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට පක්ෂය සමඟ සැලකිය යුතු ඉතිහාසයක් ඇති අතර, එය ඔහුගේ ශිෂ්‍ය ක්‍රියාකාරී අවධියේ සිට පැවත එන අතර 1980 දශකයේ අගභාගයේ ජවිපෙ දෙවන කැරැල්ල අතරතුර ක්‍රියාකාරීත්වයට පැමිණි අයෙකි.
2024 වන විට, ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ ජාතික ජන බලවේගය ඓතිහාසික මැතිවරණ ජයග්‍රහණයක් අත්කර ගත්තේය. පාර්ලිමේන්තු මැතිවරණයේදී, ජාතික ජන බලවේගය සුපිරි බහුතරයක් (ආසන 225 න් 159) ලබා ගත් අතර, දිසානායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් විය.
ඔවුන්ගේ නැගීම මුල් බැස ගත්තේ සාම්ප්‍රදායික දේශපාලන ප්‍රභූ පාලනය කෙරෙහි, දූෂණය කෙරෙහි, ආර්ථික පීඩනය කෙරෙහි සහ 2022 න් පසු ආර්ථික බිඳවැටීම මධ්‍යයේ සමාජ නොසන්සුන්තාවය කෙරෙහි වූ මහජන අතෘප්තිය තුළ ය. ඒ අනුව 68 ලක්ෂයක් ශ්‍රී ලාංකිකයින් බලාපොරොත්තු වූයේ ජනතා විමුක්ති පෙරමුණ මුලික වූ මාලිමා පාලනය විසින් “නව දේශපාලනය සංස්කෘතියක්” ගෙන එනු ඇති බවයි. සමාජවාදයට නැඹුරු, සමානාත්මතාව අගයන, පරිසර හිතකාමී සහ පසුගිය ආණ්ඩුවලට වඩා කාර්යක්ෂම, දුෂණයෙන් තොර, නිතිය සැමට සමාන, ඔවුන් පොරොන්දු වූ “පොහොසත් රටක් ලස්සන ජිවිතයක්” නිර්මාණය වෙනු ඇතැයි කියාය.
එහෙත්, ඩිට්වා සුළි කුණාටුව සහ ඊට ඔවුන් දැක්වූ ප්‍රතිචාරය හමුවේ, එම බලාපොරොත්තු බොහොමයක් වේගයෙන් බිඳ වැටෙමින් පවතින බව පෙනෙන්නට තිබේ.
වරද කාගේද?
ආපදා පෙර සූදානම, පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති නිරවුල්ව ආපදාව ගැන ඇනුම් දී තිබියදී, ඒ සියල්ල නොසලකා සිදුවූ සන්නිවේදනයේ බරපතල අසාර්ථකත්වයන් සම්බන්ධයෙන් විපක්ෂය ඇතුළු විවේචකයින් රජයට චෝදනා කරයි.
මේ පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය පවා වාර්තා කර සිටින අතර ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පවසන්නේ, සුළි කුණාටු ක්‍රියාකාරකම් පිළිබඳ කලින් අනතුරු ඇඟවීම් රජය නොසලකා හැර ඇති බවට සමහරු චෝදනා කරන බවයි.
කුණාටුවේ බලපෑම මත අවධානමට ලක්වූ පිරිස්, ඉවත් කිරීම, ගලවා ගැනීමේ සහ සහන මෙහෙයුම් සම්බන්ධීකරණයකින් තොරව සිදු වූ බව සහ ඒවා ඉතා මන්දගාමී වූ බව තවත් සමහරු තර්ක කරති. බොහෝ අය පවසන්නේ තොරතුරු සහ උපකාර සඳහා නිල මාධ්‍ය නාලිකා වෙනුවට සමාජ මාධ්‍ය හෝ අවිධිමත් තොරතුරු මුලාශ්‍ර මත විශ්වාසය තැබීමට සිදු වූ බවයි.
මෙම තත්වය ගැන මානව හිමිකම් සහ සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් පෙන්වා දෙන්නේ, දැනට පවතින නීති, විශේෂයෙන් 2005 අංක 13 දරන ආපදා කළමනාකරණ පනත, පුළුල් හදිසි නීති බලතල භාවිතා නොකර ස්වාභාවික විපත් වලට ප්‍රතිචාර දැක්වීමට ප්‍රමාණවත් නීතිමය පදනමක් සහ ව්‍යුහයන් පවතින බවයි.
මෙවැනි විවේචන තුලින් පෙනීයන්නේ, බොහෝ දෙනෙකුට හැඟෙන්නේ ප්‍රතිචාරය මන්දගාමී, දුර්වල ලෙස සැලසුම් කළ සහ බොහෝ විට නොසැලකිලිමත් එකක් වී ඇති බවයි. කොළඹ සිට මධ්‍යම කඳුකරයේ දුෂ්කර ගම්මාන දක්වා දිවයිනේ දිස්ත්‍රික් 25 ක ප්‍රජාවන්ට බලපෑ මෙම ව්‍යයසනය මෑතකාලීන ඉතිහාසයේ ලංකාව මුහුණ දුන් බරපතලම ඛේදවාචකයකි.
එහි ප්‍රතිවිපාක ඉතාමත් ඛේදජනකය. දහස් ගණනක් අවතැන් වී ඇත නායයෑම් හේතුවෙන් ගම්මාන සහමුලින්ම අහිමි වී ඇත. කෘෂිකාර්මික ඉඩම් සහ ජීවනෝපායන් විනාශ වී ඇත. සහ මිලියන ගණනක ජනතාවකට දිගුකාලීන අවිනිශ්චිතතාවයක් ඇති වී තිබේ.
හදිසි නීතිය සහන සැලසීමේ මෙවලමක්ද? නැතිනම් මර්දනයට පාර කැපිමක්ද?
නිරීක්ෂකයින් සැබවින්ම කලබලයට පත්ව ඇත්තේ, හදිසි නිතිය මානුෂීය සහනාධාර සැපයීමේ මෙවලමක් ලෙස පමණක් නොව, විරුද්ධ මත මර්දනය කිරීමට සහ තොරතුරු පාලනය කිරීමේ මාධ්‍යයක් ලෙසද භාවිතා කිරීමට රජය දක්වන පැහැදිලි උනන්දුවයි.
එබැවින් හදිසි නීතියෙන් අවසර ලැබෙන්නේ කුමක් සඳහාද? යන්න ගැන විමසීම වැදගත්ය.
2025 නොවැම්බර් 28 දින ප්‍රකාශයට පත් කරන ලද රෙගුලාසි යටතේ,
රජයට ප්‍රධාන සේවාවන් (විදුලිය, ප්‍රවාහනය, සෞඛ්‍ය, වාරිමාර්ග, මාර්ග නඩත්තුව ආදිය) “අත්‍යවශ්‍ය මහජන සේවා” ලෙස වර්ගීකරණය කළ හැකි අතර, එමඟින් ආරක්ෂක හමුදාවන්ට ඒවායේ කළමනාකරණය පිළිබඳ පුළුල් පාලනයක් ලබා දේ.
රාජ්‍ය නිලධාරීන් අතර අතෘප්තිය සහ නොසන්සුන්තාව ඇති කිරීම, මහජන සාමයට හෝ අත්‍යවශ්‍ය සේවාවන්ට අගතිගාමී වන කටකතා හෝ අසත්‍ය ප්‍රකාශ පතුරුවා හැරීම, සහ බෙදාහැරීම, (පෝස්ටර්, පත්‍රිකා, අත්පත්‍රිකා) වලට එරෙහිව, පුළුල් විධිවිධාන යටතේ රැස්වීම සහ ප්රකාශනය සීමා කළ හැකිය.
එමෙන්ම හදිසි සහ ඵලදායී ගලවා ගැනීමේ ක්‍රියාවලියකට, සහන සැලසීමට සහ ආධාර සම්බන්ධීකරණය සහතික කිරීමට සඳහා හදිසි නීති රෙගුලාසි අත්‍යවශ්‍ය බව රජය කියා සිටී.
මෙය භයානක වන්නේ ඇයි?
හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කිරීමෙන් දින කිහිපයක් ඇතුළත, රජයේ ජ්‍යෙෂ්ඨයෙක් වන මහජන ආරක්ෂාව සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල, ජනාධිපතිවරයා හෝ අමාත්‍යවරුන් පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ, අපහාසාත්මක අන්තර්ගතයන් පතුරුවා හැරීම සම්බන්ධයෙන් හදිසි නීති රෙගුලාසි යටතේ පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා ලෙස ප්‍රසිද්ධියේ පොලිසියට උපදෙස් දුන්නේය.
ඔහු පවසා සිටියේ
“අන්තර්ජාල වේදිකා හෝ AI තාක්ෂණය හරහා අසත්‍ය තොරතුරු පතුරුවා හැරීමට, කරුණු විකෘති කිරීමට හෝ ප්රචාරක කටයුතුවල යෙදීමට කිසිවෙකුට අවසර නැති” බවයි.
එවැනි වැරදි සඳහා දඬුවම් ලෙස සමහර අවස්ථාවල දී, වසර 5-10 දක්වා සිර දඬුවම් හිමිවන බවද ඔහු පෙන්වා දෙන ලදී.
සිවිල් නිදහස පිළිබඳ සංවිධාන සහ ස්වාධීන චින්තන සංවිධාන, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, මේ පිළිබඳව අදහස් දක්වා සිටියේය. ඔවුන් පෙන්වා දෙන්නේ ප්රකාශනයේ නිදහස, චලනය, රැස්වීමේ හැකියාව, යටපත් කිරීමේ අවදානමක් ඇති බවට අනතුරක් ඇති බවයි.
ආණ්ඩුවේ මෙම උත්සාහය ඔවුන් කරදරකාරී ප්‍රවේශයක් බව සටහන් කරයි. සුළි කුණාටුවට ප්‍රතිචාර දැක්වීම සඳහා රජයට ආපදා විශේෂිත නීති (ආපදා කළමනාකරණ පනත වැනි) භාවිතා කළ හැකිව තිබුණද, ඒ වෙනුවට පුළුල් හා විවෘත හදිසි නිථී ක්‍රියා මාර්ග තෝරා ගෙන තිබේ. ඓතිහාසිකව එය ශ්‍රී ලංකාවේ බොහෝ විට පුරවැසියන් ආරක්ෂා කිරීමට නොව, විසම්මුතිය නිහඬ කිරීමට භාවිතා කර ඇත.
වාමාංශික උන්මාදය වෙනුවෙන් අධිකාරීවාදී මෙවලම් භාවිතය.
වත්මන් අර්බුදයේ වඩාත්ම කැළඹිලි සහගත ප්රතිවිරෝධතාව හෙවත් විරුද්ධාභාෂය වන්නේ, වාමාංශික, සමාජවාදී පැහැයෙන් යුත් සන්ධානයක් වන JVP/NPP ය, වඩාත් මර්දනකාරී පාලන තන්ත්රයන් සිහිගන්වන ආකාරයෙන් හදිසි නීති බලතල අභ්‍යාස කිරීමට වෙර දරන ආකාරයයි.
එම උත්සාහය ජවිපෙ ප්‍රකාශිත දර්ශනවාදයන්ට එදිරිව ක්‍රියාත්මක භාවිතයකි.
විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණ සහ පසු කාලීනව ඔවුන් සමග සන්ධාන ගත වූ ජාතික ජන බලවේගය රැඩිකල් වාමාංශික දේශපාලනයේ සම්ප්‍රදායන් කෙරෙහි ආශක්ත බවක් දැක්වූ කණ්ඩායමකි. ඔවුන් සිය දේශපාලන සන්නිවේදනයේදී නිතර වර නැගුවේ, සමාජ සාධාරණත්වය, සමානාත්මතාවය, සහ සාමාන්‍ය පීඩිත ජනතාව බලගැන්වීමේ ව්‍යාපෘතියකි. ඔවුන්ගේ බලයට නැගීම දශක ගණනාවක් තිස්සේ පැවති ප්‍රභූ, දූෂිත, ධනේශ්වර දේශපාලනයෙන් බිඳී යාමක් ලෙස තීරණාත්මකව රාමු කරන ලද එකකි.
ජනාධිපති දිසානායක මහතා පෞද්ගලිකව මාක්ස් සහ එංගල්ස්ගේ සිට ගාන්ධි, ටිටෝ සහ කැස්ත්‍රෝ සහ විජේවීර දක්වා වූ බලපෑම් සිය දේශපාලන ජීවිතයේදී ඕනෑ තරම් උපුටා දක්වා ඇත.
දිසානායක මහතා මෙම භාවිතයෙන් අඟවා සිටියේ වෙන කවරක්වත් නොව, අවම වශයෙන් නාමිකව හෝ ඒකාධිපතිවාදයට වඩා ජනතා කේන්ද්‍රීය, සමාජ, ආර්ථික පරිවර්තනයක් සඳහා කැපවන බවකි.
එහෙත්, බලය අල්ලා ගැනීමෙන් අවුරුද්දකුත් මාස කීපයක් ඇතුළත, මෙවන් ජාතික ව්‍යසනයක් මධ්‍යයේ, රජය හදිසි නීති රෙගුලාසි බලාත්මක කර ඇත. එය අත්‍යවශ්‍ය සේවාවන් සඳහා බව පවසමින් මධ්‍යගත පාලන ආකෘතියකට සහ විරුද්ධ මත ප්‍රකාශ කිරීම මර්දනය කිරීමට සැරසීම, ඒකාධිපති පාලනයේ සම්භාව්‍ය ලක්ෂණ වෙත යොමු වීමකි.
මෙම පරස්පර විරෝධය අහම්බයක් නොවේ. එය කරදරකාරී දේශපාලන උපාය මාර්ගයක් පෙන්නුම් කරන අතර සමාජ නොසන්සුන් තාවයකට හේතු වේ. එනම් පුරවැසි සමාජය සැකයෙන් බලන්නේ මධ්‍යගත බලය නැවත තහවුරු කිරීම, විචාරකයින් නිහඬ කිරීම, සහ පොදු ක්ෂේත්රය නැවත සකස් කිරීම සඳහා ජාතික අර්බුදයක බර භාවිතා කිරීමට ආණ්ඩුව සුදානම් වන බවයි.
ඇත්ත වශයෙන්ම, කලක් ධනවාදී ප්රභූන්ට සහ මර්දනකාරී පාලන තන්ත්රයන්ට විරුද්ධ වූ දේශපාලන කඳවුරක් දැන් වාමාංශික ජනතාවාදයේ මුවාවෙන් මර්දනකාරී උපක්‍රම බොහොමයක් ස්වකිය රාජ්‍ය පාලනය තුල ප්‍රතිනිර්මාණය කරමින් සිටිති.
ආණ්ඩුවේ දේශපාලන ජනප්‍රියත්වය දියවී යන්නේ ඇයි?
මාලිමා සන්ධාන ආණ්ඩුවේ මැතිවරණ පොරොන්දු, අපේක්ෂා, සහ දිට්වා සුළි කුණාටුව විසින් නිර්මාණය වූ නව තත්වයට ඔවුන් දැක්වූ ප්‍රතිචාරය අතර ඇති විසන්ධි වීම දැනටමත් දේශපාලනික වශයෙන් දැඩි බලපෑමක් ඇති කරමින් පවතී.
වත්මන් ආණ්ඩුව, 2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී කැපිපෙනෙන ජයග්‍රහණයක් ලබා ගත්තද, ඊට ඉතාමත් කෙටි කාලයකදී 2025 පැවති පළාත් පාලන මැතිවරණයෙදී ආණ්ඩුව බරපතල පසුබෑමකට ලක්වූ බව නොරහසකි. එහිදී ඔවුන් ලද පසුබෑම පෙර මැතිවරණයට වඩා 61% තරම් පහත වැටීමකි.
එසේ අඩු වූ ඡන්ද ප්‍රමාණය වෙනත් විකල්ප දේශපාලන ධාරා විසින් ආකර්ෂණය කර ගන්නා ලදී. පසුව ආණ්ඩුව විසින් ඉතා අපහසුවෙන් රහසිගත ක්‍රමවේදයකින් පිහිටුවා ගත් පාලත් පාලන ආයතන බොහෝමයක 2026 අයවැය පරාජය වීම් දිගටම වාර්තා වේ.
එපමණක්ද නොව මෑතක පවත්වන ලද ග්‍රාමීය ප්‍රදේශවල පිහිටි සමුපාකාර ඡන්ද බහුතරයක් ආණ්ඩුව නියෝජනය කරන පාර්ශවය දරුණු පසුබෑමකට ලක්ව තිබේ.
සුළි කුනාටුවෙන් අනතුරුව විශේෂයෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශවල බොහෝ ඡන්දදායකයින් අතර, ආණ්ඩුව කෙරෙහි වූ කලකිරීම තවත් වර්ධනය වෙමින් පවතී. එයට හේතුව වී ඇත්තේ රජය ඔවුන් ආරක්ෂා කිරීමට අපොහොසත් වූ බව පමණක් නොව, දැන් එය ව්‍යසනය භාවිතා කරමින් මහජන ප්රතිවිරෝධය මර්දනය අනිසි බලයක් තහවුරු කර ගැනීමට ආණ්ඩුව උත්සාහ කරමින් සිටින බවට සමාජයට ඒත්තු ගැනෙමින් පවතින නිසාය.
මෙම තත්වය පිළිබඳව මාධ්‍ය වෘත්තිකයින්, සිවිල් සමාජය සහ විරුද්ධ පක්ෂ, දැඩි කනස්සල්ල පළ කර තිබේ. ඔවුන් ප්‍රශ්න කරන්නේ තවදුරටත් ආපදා ප්‍රතිචාරය ගැන පමණක් නොවේ. ආපදාවට සැඟවී, රට දැන් හදිසි නීති යටතේ මර්දන දේශපාලනයකට නැවත ලිස්සා යනවාද යන්නයි.
ඇත්ත වශයෙන්ම මෙම ස්වභාවය මගින් පෙන්නුම් කරන්නේ, අර්බුදවලදී පොලිස් බලතල පුළුල් කරන අතර ප්රජාතන්ත්රවාදය, නීතියේ ආධිපත්‍යය සහ යුක්තිය යන සියල්ල එකම භාජනයකට දමා පිරිසිදු කරන අකාරයකුයි.
මේ මොහොතේ ජාතියක් ඉල්ලා සිටින්නේ, මර්දනය නොව එක්සත්කමයි.
මෙවැනි ඇති සංවේදී සහ ව්‍යසනකාරී, ස්වාභාවික විපතක් විසින් මහජන ජනාවාසවල පමණක් නොව, පොදු යටිතල පහසුකම්, සමාජ ආරක්ෂණ දැල් සහ පාලන රාමු වල අවදානම හෙළි කරනු ලැබේ. එවන් මොහොතක ශ්‍රී ලංකාවට සහයෝගීතාවය, විනිවිදභාවය, අපක්ෂපාතිත්වය, සහ ප්රජාතන්ත්රවාදී වගවීම අත්‍යවශ්‍ය වේ.
ඒ වෙනුවට පුළුල් හදිසි නීති බලතල භාවිතා කිරීමෙන්, රජය හරියටම ප්‍රතිවිරුද්ධ දේවලට රතු එලි දැක්වීමේ අවදානමක් ගනිමින් සිටී. එනම් ආණ්ඩුව, විනිවිදභාවය රහස්‍යභාවයෙන් රැකීමටත්, මහජන විශ්වාසය බියෙන් පාලනය කිරීමටත්, ප්රජාතන්ත්රවාදී කතිකාව රාජ්‍ය අනුග්‍රහයෙන්, ප්‍රතිස්ථාපනය කිරීමට කැමැත්තෙන් සිටී.
එම භාවිතය තුලින් සිදු වන්නේ ඔවුන් තම දේශපාලන පාරිශුද්ධත්වය ගොඩනැගු ප්‍රධාන අත්තිවාරම වන “ජනතා රජයක්” යන්න හුදු ප්‍රවාදයක් පමණක් බවට පත් කරමින්, සමාජ සාධාරණත්වය සහ වගවීම බිඳ දමමින් සිටිති.
මේ මොහොතේ ආණ්ඩුවේ ඉලක්කය, සැබෑ ජාතික ප්රතිසංස්කරණයක් නම් ජීවිත, යටිතල පහසුකම් සහ මහජන විශ්වාසයද නැවත ගොඩනැගීම අත්‍යවශ්‍ය කොන්දේසියකි. ඒ අපේක්ෂාව වෙනුවෙන් හදිසි නීති රෙගුලාසි භාවිතා කළ යුත්තේ මර්දනයට නොව, ගලවා ගැනීම සහ සහන ලබාදීම, ආර්ථිකය නගාසිටුවීම, විනාශ වූ සමස්තය ප්‍රතිස්ථාපනය කෙරෙහිය. එසේ නොමැතිව පටු ලෙස බලය සඳහා වූ අර්ථ දක්වා ගැනීමේ පියවරක් ලෙස නොවේ.
ශ්‍රී ලංකාවේ අතීත හදිසි අවස්ථා වලින් ඉගෙන ගත හැකි පාඩම් බොහොමයකි. එවැනි බලතල සාමාන්‍යකරණය වූ පසු, පාලකයින් ඒවා අත්හැර දමන්නේ කලාතුරකිනි. විසම්මුතිය යටපත් වූ යථාර්තයක, විකල්ප මාධ්‍ය හෝ සිවිල් සමාජය සඳහා අවකාශය වසා දැමු යථාර්තයක, බහුත්වවාදය, නිදහස සහ සහභාගීත්ව ප්රජාතන්ත්රවාදය කරා ආපසු යන මාවත අධික බෑවුම් සහිත සහ අවිනිශ්චිත එකක් බවට පත්වේ.
වගකීම, විනිවිදභාවය සහ සිවිල් සහයෝගීතාවය සඳහා වූ ආයාචනයක්.
ජවිපෙ, මාලිමා සන්ධාන ආණ්ඩුවේ සැබෑ පරීක්ෂණය ඇත්තේ අලංකාර සටන් පාඨ හෝ ජනතාවාදී මිත්‍යා කතා මත නොවේ. ඔවුන් මෙම අර්බුදය කළමනාකරණය කරන ආකාරය, ඔවුන් වින්දිතයින්ට සලකන ආකාරය, ඔවුන් මූලික අයිතිවාසිකම්වලට ගරු කරන ආකාරය සහ දැන් ගැඹුරින් බිඳී ඇති මහජන විශ්වාසය නැවත ගොඩනඟන ආකාරය තුළ ය.
සුළි කුණාටුවේ විනාශය සහ වින්දිතයින්ගේ කගැසිම ඉල්ලා සිටින්නේ තමන්ට නිවාස, ජීවනෝපායන්, මහජන සේවාවන් සහ සියල්ලටත් වඩා ප්රජාතන්ත්රවාදී වටිනාකම් වලින් සමන්විත ප්‍රතිසංස්කරණය කිරීමේ ජාතික ව්‍යාපෘතියකි.
මේ බිඳ වැටුණු මොහොතේ, රටට අවශ්‍ය වන්නේ මර්දනය නොවේ. රටට අවශ්‍ය වන්නේ එක්සත්කමයි.

සටහන: විජේපාල දිසානායක
භාණ්ඩාගාරික
ආසියානු භූ දේශපාලන තිරසතාවය, සහ සාමය සඳහා වූ කවුන්සිලය
Asian Geopolitical Sustainability & Peace Council. (AGSPeC)
Email: [email protected]

