Friday, December 19, 2025
spot_img

Latest Posts

රාජ්‍ය පාලනයේ සකලවිද අසමත්කම් එක මිටකට නිරාවරණය කල ඩිට්වා සුළි කුණාටුව

විජේපාල දිසානායක විසිනි.

ඩිට්වා සුළි කුණාටුව අපේ රටට නිර්නාමිකව ඇවිදින් රහසින් පහර දුන්නේ නැත. කලාපය පුරා සයිරන් හඬ දැල්වූ  ගෝලීය කාලගුණ විද්‍යා ආයතනවල අනතුරු ඇඟවීම් සමඟ එය අපේ දූපත ආක්‍රමණය කළේය.

සුළි කුණාටුවට සති කීපයකට පෙර සිටම, ඇමරිකා එක්සත් ජනපදය කේන්ද්‍ර කර ගත් ඒකාබද්ධ ටයිෆූන් අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානයේ JTWC (Joint Typhoon Warning Center), ඉන්දියානු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ IMD (India Meteorological Department) මධ්‍යම පරාස කාලගුණ අනාවැකි සඳහා යුරෝපීය මධ්‍යස්ථානය, ECMWF, (European Centre for Medium Range Weather Forecasts) උපදේශන සහ Weather.com විසින් තරයේ චන්ද්‍රිකා ඡායාරූප සහිත නිවේදනය  කරන ලද මුල් කුණාටු මාර්ගය එලෙසම ප්‍රක්ෂේපණය කල, එපමණක්ද නොව BBC, CNN, අල්ජසීරා, නාලිකා වඩාත් නිරවුල්ව අනාවරණය කල   සියල්ලම එකම කතාවක් විය. එම ගෝලීය හෙළිදරව් කිරීම් වලට අනුව දරුණු කුණාටු පද්ධතියක් ශ්‍රී ලංකාව දෙසට කෙලින්ම ගමන් කරමින් තිබුණි.

“ජලමට්ටම් ඉහළ යන විට, කඳු නාය යන විට, අසරණ වූ මිනිසුන්ගේ විලාප හඬ මැදින් එක් භයානක සත්‍යයක් හෙළි වෙමින් තිබේ.”

මහා ජාල කඳ හෙක්ටයාර් 510,000 ක් වගා කල කුඹුරු, එතුලින් සිදුවූ  වගා හානිය පමණක් රු.බි 36 අධික වී ඇත. වාරි පද්ධතිය, මහා මාර්ග, පොලවට සමතලා වූ නිවාස පාලම්, තවමත් ගණන් බාලා නොමැත. අහිංසක මිනිසුන්ගේ කම්පනය, ආදරණියයන්ගේ වෙන් වීම, සදාකාලිකය. තවමත් සුරක්ෂිත මධ්‍යස්ථාන 1494 ක, අවතැන් පුද්ගලයින් ලක්ෂ 11 ට වැඩි ජනතාවක් රඳවා ඇත.

මෙම ව්‍යවසනයෙන් හෙළිදරව් වන්නේ  ඊටත් වඩා නරක දෙයකි.  ඒ අන් කිසිවක් නොව, දේශපාලන නොසැලකිල්ල, අස්ථානගත වූ ප්‍රමුඛතා සහ ආයතනික බිඳ වැටීමේ  වීමේ නාමාවලියකි.

මගහැරී  ගිය පූර්ව අනතුරු ඇඟවීම්.  

දේශීය හා ජාත්‍යන්තර කාලගුණ විද්‍යා සේවා මගින් ගොඩබිමට පැමිණීමට දින කිහිපයකට පෙර ඩිට්වා බවට පත් වූ බරපතල කුනාටු තත්වය තත්ත්වය නිරීක්ෂණය කරන ලදී. ඉන්දියානු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වෙරළබඩ බලපෑම සහ ඉතා අධික වර්ෂාපතනය පුරෝකථනය කරමින් විධිමත් උපදේශන නිකුත් නිකුත් කරන ලදී.

එතැකින් නොනැවතුන ඉන්දියාව, සිය රජය සතු වික්‍රාන්ට් (INS Vikrant) ගුවන් යානා ප්‍රවාහනය කල හැකි යුධ නැව, සහායක යානා, විවිධ ද්‍රව්‍ය, ගලවා ගැනීමේ පිරිස් ඇතුළු 1600 ක කාර්ය මණ්ඩලය, සමග ආපදාවට දින කීපයකට පෙර කොළඹ වාරය වෙත ලඟා වුයේ මේ අනතුර කල් තියා මැනවින් හඳුනා ගත් පරිද්දෙනි.

කලාපීය කාලගුණ මධ්‍යස්ථාන මධ්‍යම කඳුකරය හරහා දැඩි වැසි සහ නායයෑම් අවදානමක් ස්ථිර ලෙස පෙන්නුම් කළේය. මේවා නොපැහැදිලි හෝ බොඳව ගිය ඉඟි නොවේ. ඒවා රජයේ සෑම මට්ටමකින්ම වේගවත් සූදානමක් ඇති කළ යුතු විධිමත්, කාලානුරූපී අනතුරු ඇඟවීම් විය.

එහෙත් පුරෝකථනය සහ අර්ථවත් ක්‍රියාමාර්ග අතර ගැඹුරු පරතරයක් පෙන්නුම් කෙරිණි. පූර්ව අනතුරු ඇඟවීමේ පණිවිඩය මහජනතාව වෙත ළඟා වූ නමුත්, එම දැනුවත් කිරීම හරහා අනතුරු සහිත ප්‍රදේශ වලින් ජනයා  ඉවත් කිරීම, ජලාශ ආශ්‍රිතව ජාල මට්ටම් කළමනාකරණය, සහ ජීවිතාරක්ෂක සැපයුම් සේවා,  සහ ආපදා තත්වයකදී අත්‍යාවශ්‍ය මෙහෙයුම් යාන්ත්‍රණය අලසව චලනය වන්නට විය. පෙර සූදානම් වීමේ පෙරහුරුවක් නොවූ අතර ජීවිත බේරා ගත හැකි ඒකාබද්ධ මධ්‍යගත ව්‍යුහයන් අක්‍රිය වී තිබිණ.  ඕනෑම ක්‍රියාකාරී රාජ්‍යයක මූලික යුතුකම වන තීරණාත්මක අවස්ථාවක ඊට මුහුණ දීමට අවැසි ශක්තිමත් රාජ්‍ය යාන්ත්‍රණය ප්‍රතිචාරයකින් තොරව කුණාටුවට පසු දින රජයේ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත්කර වසා දමන ලදී.

පිළිතුරු ඉල්ලා සිටින මිනිස් වන්දිය.

ගලවා ගැනීමේ කණ්ඩායම් යුහුසුළු වන්නට විය. ආධාර ආයතන බලමුලු ගැන්වී අවතැන්වූ ජනතාව වෙත ලඟා වන්නට විය. ඒ තුලින් ක්‍රමයෙන්  අලාභයේ දරුණු අංක ගණිතය මතු වන්නට විය. මරණ සංඛ්‍යාව දුසිම් ගණනක සිට සිය ගණනක් දක්වා ඉහළ යමින් තිබේ. නිවාස දහස් ගණනක් විනාශ විය සහ මිලියනයකට වැඩි  ජනතාවක් පීඩාවට පත් වූ බව වාර්තා වෙමින් තිබේ. නොවැම්බර් 30 රාත්‍රිය වන විට, නිල සහ ජාත්‍යන්තර වාර්තා මගින් පෙන්නුම් කළේ මරණ සංඛ්‍යාව සහ සමූහ අවතැන්වීම් වේගයෙන් ඉහළ යන බවයි. එම සංඛ්‍යාලේඛන ශ්‍රී ලංකාවේ මෑත කාලීන මාරාන්තික ස්වාභාවික විපත් අතරට ඩිට්වා පත් කර තිබේ. රොයිටර් පුවත් සේවය වාර්තාවක් සපයමින් ප්‍රකාශ කරන්නේ අවසානයේ හමුදා සහ පොලිස් ඒකක යොදවා ඇති අතර, සුරක්ෂිත  මධ්‍යස්ථාන අවතැන් වූවන්ගේ තාවකාලික නගර බවට පත් වෙමින් ඇත යනුවෙනි.

පද්ධතිය බිඳ වැටුනේ ඇයි?  වැරදුනේ කොතනද .

මෙම ව්‍යසනය වළක්වා ගත හැකිව තිබූ අසාර්ථකත්වයන්ගේ තර්කානුකුල එකතුවකි.

ඒ අතර ප්‍රධාන වන්නේ, නොසලකා හරින ලද යටිතල පහසුකම් සහ නඩත්තුවයි. රොන්මඩ හා කුණු කසළවලින් වැසී ගිය ජලාපවහන පද්ධති, තීරණාත්මක ජල මාර්ග නඩත්තුව කල් දැමීම සහ මේ වන විටත් හඳුනාගෙන තිබු නායයෑම් අවදානමට ලක්විය හැකි බෑවුම් ශක්තිමත් නොකර සිටීම. මේවා දෙවියන්ගේ කෝපයක් නිසා සිදු වූ දේවල් නොව බරපතල නොසලකා හැරීමකි. අධික වර්ෂා තත්වයකදී   කාණු වලට නාගරික කානු පද්ධති වලට දරාගත නොහැකිව, නාගරික ගංවතුර ඇතිවීම නොවැළැක්විය හැකි කරුණකි.

අපේ රට 30  අවුරුදු යුද්ධය, සුනාමි අවස්තාව, කොවිඩ් උවදුර, පාස්කු ප්‍රහාරය, ආර්ථික අර්බුදය, ආදී වූ විවිධ ආපදා  කළමනාකරණය කිරීම පිලිබඳ පුර්ව අත්දැකීම සහිත රටකි. එවැනි ආපදා වෙනුවෙන්  ප්‍රතිචාර දැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාපිත ව්‍යුහයන් පවතී. එම ආයතන මාලිමා ආණ්ඩුව බලයට ඒමත් සමග එක්කෝ නිෂ්ක්‍රිය කළා එසේ නැතිනම වසා දැමුවා. එහි ප්‍රතිපලය වුනේ රාජ්‍ය ආයතන අතර දුර්වල සම්බන්ධීකරණයක් නිර්මාණය වීමයි. අවසානයේ හදිසි අවස්ථාවකදී පවා, රාජ්‍ය නිලධාරී යාන්ත්‍රනය අකර්මන්‍ය වී ඉහලින් නියෝගයක් ලැබෙන තුරු බලා සිටීමට සිදුවන තත්වයක් උද්ගත වීමයි.

මතක තබාගත යුතු වැදගත් දේ වන්නේ  නීතියක් හෝ චක්‍රලේඛයක් විසින් ජීවිතයක් බේරා නොගන්නා බව සහ  ඒ සඳහා ප්‍රායෝගික වූ කඩිනම් මැදිහත් වීමක්, අවස්ථාවන්ට අනුව සහ තත්වයන්ට අනුව යොදා ගැනීමට හැකි විය යුතු බවයි.

අනතුරු ඇඟවීම් සන්නිවේදන අසාර්ථකත්වයන් අනතුරෙන් පසුවත් එලෙසම පවතී. හමුදා ක්‍රියාන්විතයන්, කාලගුණ තොරතුරු, ආපදා විස්තර, අත්‍යාවශ්‍ය සේවා, අනතුරු ඇඟවීම, මේ ආදී බොහෝ තොරතුරු එකිනෙකට මධ්‍යගත වී නොමැති අතර ඒවා විසිරුණු ස්වභාවයකින් සමාජය වෙත මුදා හරිනු ලබයි. එම තොරතුරුද ඒකමානික වන අතර මේ වන තුරුද මිය ගිය හෝ අතුරුදන් පිරිස අවිනිශ්චිත ස්වභාවයක් ගනී.

මිනිත්තු වැදගත් වන විට එය සන්නිවේදනයේ මාරාන්තික දෝෂයක් බව  කිව යුතුය.

නායකත්ව ප්‍රමාදයන් තුල නිර්මාණය වූ අරාජිකත්වය.

ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයා වෙත සුවිශේෂී බලයක් ලබා දී ඇත්තේ රාජ්‍ය සහ එහි ජාතික ආරක්ෂාව වෙනුවෙන් සෘජුව මෙන්ම කාර්යක්ෂමව එම බලය ක්‍රියාවේ යෙදවීම පිණිසය. ඒ ප්‍රජාතන්ත්‍රවාදය තුළ, පුරවැසියා ආරක්ෂා කිරීම සඳහා විධායකය පළමුව ක්‍රියා කළ යුතුය. එහෙත් ඔහු හදිසි අවස්ථාවක් ප්‍රකාශ කිරීමට අනවශ්‍ය කාලයක්  ගනිමින් එය ප්‍රමාදයට ලක්විය. මහජන නොසන්සුන්තාව ඉහළ ගොස් උදව් ඉල්ලීම තීව්‍ර වද්දී හදිසි තත්වයක් ප්‍රකාශ කරමින්, අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් වරයෙකු පත් කර ගැසට්ටුව එලි දැක්වීමට පියවර ගැනිණ. 

මෙම ප්‍රමාද වූ සැම විනාඩියක්ම වැදගත් වේ. ඉවත් කිරීම, දේපල ආරක්ෂාව හෝ සහනාධාර  පූර්ව ස්ථානගත කිරීම, සඳහා ප්‍රමාද වූ  සෑම පැයක්ම අහිමි වූ ජීවිත බවට පරිවර්තනය විය.

ජනාධිපති ධුරය විසින් මෙහෙයවනු ලබන සහ සම්පූර්ණයෙන්ම දැනුවත් කරන ලද කැබිනට් මණ්ඩලයකින් සහ ආපදා මෙහෙයුම් යාන්ත්‍රනයකින් සහාය ලබන තනි, සම්බන්ධීකරණයක් සහිත ව්‍යුහයක විසින්  කරන ලද ජාතික තල්ලුවක් වෙනුවට, ආණ්ඩුවේ  ප්‍රතිචාරය පෙන්නුම් කළේ ඊට හාත්පස වෙනස් දෙයකි. දේශපාලන උත්සව, මත්ද්‍රවය මැඩලීම, ප්‍රතිරූප කළමනාකරණය සහ පරස්පර පණිවිඩ වලින් ආණ්ඩුවේ බිඳෙනසුලු රේඛා නිරුපණය විය.

ජාත්‍යන්තර හඬ සහ තාක්ෂණික ඉදිරිදර්ශන

ගෝලීය පර්යේෂණ ආයතන සහ කලාපීය ගවේෂණ ආයතන කඩිනමින් කුණාටුව ගැන  සලකා බැලුවේය. ජලය සහ දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව පිළිබඳ ප්‍රමුඛ පර්යේෂණ කණ්ඩායමක් වන ජාත්‍යන්තර ජල කළමනාකරණ ආයතනය IWMI, (The International Water Management Institute) වර්ෂාපතනයේ පරිමාණය සහ වාරිමාර්ග යටිතල පහසුකම් සහ ජීවනෝපායන් සඳහා ඇති සංකීර්ණ අවදානම් වඩාත් නිශ්චිතව  ඉස්මතු කර දැක්විය. දිවයින පුරා ඒකාබද්ධ ජල කළමනාකරණය උපායමාර්ගයක අවශ්‍යතාවය  සහ දේශගුණික, උපක්‍රමික අනුවර්තනයක්  සඳහා ඇති ඉක්මන් අවශ්‍යතාවය පෙන්වා දුන්නේය. කෙටි කාලයක් තුළ සංකේන්ද්‍රණය විය හැකි අධික භූගත ජල සාන්ද්‍රණය, විශේෂයෙන් ඉහළ ගංගා ජල පෝෂක ප්‍රදේශ හායනයට ලක්වන විට, විනාශකාරී ගලායාමක් සහ නායයෑම් ඇති කරන ආකාරය බාහිර විශේෂඥයින් සඳහන් කළහ. (බලන්න IWMI වාර්තාව)

මෙම තාක්ෂණික රෝග විනිශ්චයන් ඉතා වැදගත් වේ. ඒවා සංයුක්ත පිළියම් සහ උපක්‍රමික ක්‍රියාමාර්ග වෙත යොමු කරයි. ජල පෝෂක සහ වැව් කන්ඩි ප්‍රතිසංස්කරණය, ඒවායේ ධාරිතා කළමනාකරණය, නාගරික කාණු නිතිපතා ප්‍රතිසංස්කරණය  කිරීම, අනාවැකිවලට සම්බන්ධ ජලාශ මෙහෙයුම් ප්‍රොටෝකෝල සහ ගංවතුර බිම් කළමනාකරණය, මෙම අනතුරු ඇඟවීම් සමගම පැමිණි ඊළඟ උපායශීලි අවශ්‍යතා විය. එහෙත්  ඒවා ක්‍රියාත්මක තලයකට ගෙන ඒමට  දේශපාලන කැමැත්ත සහ අරමුදල් අවශ්‍ය වේ. රට පහළට ඇද වැටී ඇත්තේ එවැනි කැමැත්තක් සහිත දේශපාලන අධිකාරියක් මේ මොහොතේ රටේ නොමැති හෙයිනි.

 සදාචාරාත්මක වැහැරීම සහ දෘශ්‍යමාන සුඛෝපභෝගීත්වය

වත්මන් ආණ්ඩුව, රාජ්‍ය පරිපාලනය කාර්යක්ෂම කරන්නේ යන මුවාවෙන් පෙර කල “ජනතාවට නොමැති කිසිවක් අපට එපා”  යැයි කියූ ස්ථාවරය පසෙක දමා ඇත. මහජනයාද මෙදෙස උපේක්ෂාවෙන් බලන අතර මහජන  කෝපය,  සරල සංසන්දනයක් කෙරෙහි අවධානය යොමු කර ඇත.

දේශපාලනඥයින් සඳහා බිලියන 40 ක් ඉක්ම වූ කැබ් රථ 1775 ක් කඩිමුඩියේ ආනයනය කිරීම. මිලියන 300 ක් වියදම් කරමින් “ශ්‍රී ලංකා දිනයක්” සැලසුම් කිරීම, ආදී නාස්තිකාරී වියදම් කිසිඳු පලදායි ප්‍රතිපලයක් නොලබන්නේය. මේවා හුදෙක්ම සුඛෝපභෝගී මිලදී ගැනීම්, සහ ආපදා සූදානම සඳහා වෙන් කල නොහැක්කේ මන්දැයි චර්යාත්මක ගැටුමක් නිර්මාණය කරයි.  කර වැටක් වතුරේ ගිලී ගිය පවුල්  ජලයේ පාවෙමින් ගමන්  කරන විට, මිනිසුන් පන පිටින් පොලවේ සැඟවී යන විට,  සුවපහසු නිල මෝටර් රථ සහ ප්‍රයෝජනයක් නැති සාකච්ඡා  රූප සදාචාරාත්මක අසාර්ථකත්වයේ තියුණු සංකේත බවට පත්ව ඇත.

භාණ්ඩාගාරය උතුරා යන තරමෙන් රුපියල් පිරි ඇති බව ආණ්ඩුව පුරසාරම් කියයි. එහෙත් ලක්ෂ 12 කට ආසන්න විපතට පත් ජනතාව වෙනුවෙන් ඉතා සොච්චම් මුදලක් වෙන් කරයි. එම මුදලද වියදම් කිරීමට රාජ්‍ය නිලධාරී යාන්ත්‍රනය මලි කමක් දක්වන්නේ, පවතින පුර්ව බියවැද්දවීම් ගැන කල්පනා කරමිනි.

මෙම තත්වය තුල දැකිය හැක්කේ, එදිනෙදා අවදානමෙන් හුදකලා වූ දේශපාලන පන්තියක් සහ බිම් මට්ටමේ යථාර්ථයන්ට වඩා ඉහළින් ලැබෙන සංඥාවලට බොහෝ විට ප්‍රතිචාර දක්වන නිලධාරිවාදයකි.  මෙය හුදෙක් අදක්ෂතාවයක් පමණක් නොවේ. එය සදාචාරාත්මක බංකොලොත් භාවයකි.

අකාලයේ මිය ගිය අය වෙත ගෙවිය යුතු වන්දිය රුපියල් වලට සිමා කල හැකිද?

නිදි ඇඳේම, මෙලොව හැර යන්නට වූ අපේම ආදරණියයන් සමහරෙකුට මිනී පෙට්ටියද  අහිමි විය. අවසන් ගෞරව අහිමි විය. පශ්චාත් මරණ පරීක්ෂණ නොමැති විය. අතුරුදන් වුවන්ට මරණ සහතිකයද නොමැත.

මේ මිනිසුන්ට රුපියල් මිලියනයක වන්දියක් ලබා දෙන බව රජය කියයි. මේ නොසලකා හරින ලද විපතින්, මළවුන්ට රටක් ගෙවිය යුතු වන්දිය ගණන් බැලීම සහ ජීවත්ව සිටින අයට  ගෙවිය යුතු යුතුකම එලෙස තක්සේරු කල හැකිද?

ඩිට්වා සුළි කුණාටුව විසින් අපෙන් පැහැර  ගත්තේ ජිවිත, නිවාස, පාලම්, අහාර භෝග සහ ජීවනෝපායන් පමණක් නොවෙයි. පාලක රජයට තම ජනතාව ආරක්ෂා කළ හැකි බවට තිබූ අවසාන මිත්‍යාවද එය විසින් උදුරා ගත්තේය.

අනතුරු ඇඟවීමේ සයිරන් නලා සහ රතු එළි කොතරම් ඝෝෂාකාරීව, රට ඉදිරියේ පැහැදිලිව සහ නැවත නැවතත් සිදු කළද, තමන්ගේම ජනතාව ආරක්ෂා කර ගැනීමට අපොහොසත් වූ පාලන පද්ධතියක නොසලකා හරිම එය අනුකම්පා විරහිතව අප හමුවේ පැහැදිලි කළේය.

ස්වාභාවික විපත් ජාතික  ඛේදවාචකයන් බවට පත්වන්නේ මිනිස් නොසැලකිල්ල, දේශපාලන අහංකාරය සහ ආයතනික අංශභාගය විසින් බව ඉතා නිරවුල්ව එය අපට මතක් කර දුන්නේය.

නමුත් මෙම ඛේදවාචකය අපේ ජාතිය තුළ තියුණු සහ ප්‍රභල ප්‍රශ්නයක් ඉතිරි කරයි. එය කුනාටු සුළඟ හරහා අපෙන් විමසන්නේ, මෙම ඉතිරි වී ඇති පැහැදිලි  සාක්ෂි සමඟ අපි ඉදිරියේදී කුමක් කරමුද? යන්නයි.

ජාතියක් ලෙස අප මෙවැනි මිනිස් අහිමිවීම් වල අවසානයක් දැකිය යුතුය.

දශක තුනක් තිස්සේ අපි යුද්ධයෙන් මියැදුණු දහස් ගණනක්, සාමදානව මිහිදන් කළෙමු.

විමුක්තිය පතා හැටදහසකට වැඩි තරුණ ජිවිත අකාලේ අහිමි කර ගත්තෙමු.

සුනාමි උවදුරෙන් තවත් ජිවිත 30000කට ආසන්න පිරිසක් රටට පැය කීපයකින් අහිමි කර ගත්තෙමු.

පාස්කු ප්‍රහාරය ගැන තොරතුරු, දින, කාල වකවානු, නම් ගම් පාවා දැනගෙන සිටියදී එකවර පිපිරී යනතෙක් බලා සිටියෙමු.

ආර්ථික අර්බුදයෙන් මධ්‍ය පරිමාන ව්‍යාපාර ලක්ෂ දෙකකට වැඩි ප්‍රමාණයක් වැසි යන්නට ඉඩ හැරියෙමු.

දිට්වා සුළි කුනාටුව මුළු රටම ගිල ගන්නා බවට වූ අනතුර ලංකාව හැර සෙසු ලෝකයාම දැනගෙන සිටියත් අප එයට ඉඩ දුන්නෙමු. 

අකාර්යක්ෂමතාවයෙන් මාරාන්තික වූ තවත් ව්‍යසනයක් ශ්‍රී ලංකාවට දරාගත නොහැක. අපට නැවත එම වළක්වා ගත හැකි මරණ ගැන දිගින් දිගටම ශෝක විය නොහැක. බලයේ සිටි අය ජනතාව වෙනුවට ඔවුන්ගේ ප්‍රතිරූපය ආරක්ෂා කිරීමට කාර්යබහුල වූ නිසා අපට ආදරණීයයන් භූමදානය පුරුද්දක් ලෙස දිගටම කරගෙන යා නොහැක.

ශ්‍රී ලංකික පුරවැසි වගකීම. 

ශ්‍රී ලාංකිකයන් වූ අපි සැමවිටම දරුණු ව්‍යසනයන් හමුවේ එඩිතරව  නැගී සිටි ජාතියකි. යුද්ධයෙන්, ආර්ථික බිඳවැටීමෙන්, වසංගතවලින්, කුප්‍රකට දේශපාලන පාවාදීම්වලින් ඉතිහාසයේ බොහෝ තැන්වල අප සෘජුව නැගී සිටියෙමු.

නමුත් නැගී සිටීම පමණක් කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ.

අපි දැනුවත් මිනිසුන් ලෙස සෘතුමය අනුකම්පාව වෙනුවට  ව්‍යුහාත්මක වෙනසක් ඉල්ලා සිටිය යුතුය.

ඒ වෙනුවෙන් පුරවැසියන්ට කළ හැකි සහ කළ යුතු දේ වන්නේ,

1. සමාව අයැදීම නොව, වගවීම ඉල්ලා සිටීම

පද්ධති අසාර්ථක වීම, අනතුරු ඇඟවීම් නොසලකා හැරීම, නිසි නායකත්වයක් නොමැතිවීම තුල සිදු වූ  ජීවිත අහිමි වීම ප්‍රශ්න කල යුතුය.

පුරවැසියන් වෙත  විනිවිද පෙනෙන පරීක්ෂණයක්, මෙම අනතුර අවම කරලීම වෙනුවෙන ගනු ලැබූ තීරණ, අදාළ කාලරාමු ප්‍රකාශයට පත් කිරීම, සහ තම රාජකාරි මග හැරී  නිලධාරීන් සඳහා ප්‍රතිවිපාක ඉල්ලා සිටිය යුතුය. වගවීම දේශපාලන අනුග්‍රහයක් නොව, මහජන අපේක්ෂාවක් බවට අවධාරණය කල යුතුය.

2. නවීන, ස්වාධීන ආපදා කළමනාකරණ පද්ධතියක් සඳහා පාලකයින් පෙළඹවීම.

ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ නිලධාරිවාදී ප්‍රමාදයන් අභිබවා යාමට බලයලත් එහෙත් දේශපාලනිකරණය නොවූ, වෘත්තීයමය වශයෙන් පවත්වාගෙන යනු ලබන ආපදා කළමනාකරණ අධිකාරියකි.

ඒ වෙනිවෙන් පුරවැසියන්, සිවිල් කණ්ඩායම් සහ වෘත්තීය ආයතන පහත සඳහන් දේ අයිතීන් උදෙසා  පෙනී සිටිය යුතුය.

මධ්‍යගත හදිසි සන්නිවේදන මධ්‍යස්ථානයක දැඩි අවශ්‍යතාවය වෙනුවෙන්.

ආයතන අතර තත්‍ය කාලීන දත්ත හුවමාරුව වෙනුවෙන්.

දේශපාලන ඇඟිලි ගැසීම් වැළැක්වීම සඳහා ස්වාධීන අධීක්ෂණයක් වෙනුවෙන්.

මේවා ක්‍රමවත්ව ස්ථාපිත නොවන තාක්, ඊළඟ සුළි කුණාටුව නැවතත් එම ඛේදවාචකයම වෙනත් වචන වලින් ලියනු ඇත.

3. ආණ්ඩුව වෙත දේශගුණික අනුවර්තනය සහ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණ සඳහා අවධාරනය කල යුතුය.

අපට කුණාටු පාලනය කළ නොහැක. නමුත් අප කෙතරම් සූදානම්ද යන්න අපට පාලනය කළ හැකිය.

ප්‍රජාවන්, ගොවි සංවිධාන, තරුණ කණ්ඩායම්, ශාස්ත්‍රඥයින් සහ පළාත් පාලන ආයතන පහත සඳහන් දේ සඳහා පෙළඹවිය යුතුය.

ඛාදනයට ලක් වූ ජල පෝෂක ප්‍රදේශ නැවත පිලිසකර කිරීම

විධිමත් නාගරික ගංවතුර පාලන පද්ධති සැකසීම.

කාලගුණ අනාවැකි සමඟ බැඳී ඇති ජලාශ මෙහෙයුම් ප්‍රොටෝකෝල ප්‍රති සංවිධානය කිරීම.

මේ සඳහා රාජ්‍යය යාන්ත්‍රනය ක්‍රියා නොකරන්නේ නම්, එය ක්‍රියාත්මක වන තුරු සමාජය එයට නිරන්තරයෙන් බලපෑම් කළ යුතුය.

4. ප්‍රජා මට්ටමේ ක්‍රමවත් සූදානමක්  ගොඩනැගීම

ආණ්ඩු අසාර්ථක වූ විට, ප්‍රජාවන් එකිනෙකා වෙනුවෙන් තම තමන්ගේ ආරක්ෂාව සහ රැකවරණය උදෙසා මැදිහත් වේ. එය පෙ රටේ වටිනා සංකෘතික ගුණාංගයකි.

සෑම ගමක්ම, සෑම නගරයක්ම, සෑම වතු ප්‍රදේශයක්ම සිවිල් ආපදා කමිටු, ඉවත් කිරීමේ සැලසුම්, සන්නිවේදන දාම සහ ස්වේච්ඡා ජාල නැවත පණ ගැන්විය යුතුය.

ජාතික නායකත්වය බිඳ වැටෙන විට දේශීය ඔරොත්තු දීමේ හැකියාව අවසාන පලිහ ලෙස ස්ථාපිත කල යුතුය.

පාලකයින්ට මෙවැනි විපත් නොසලකා හැරීමට නැවත කිසිදා ඉඩ නොදිය යුත්තේ ඇයි?

මක්නිසාද යත් අහිමි වන සෑම ජීවිතයක්ම වළක්වා ගත හැකිව තිබු බැවිනි.

ඉහළ යන ජාල මට්ටම් හරහා තම දරුවා කරේ රැගෙන ගිය සෑම මවකටම, පියෙකුටම, ආරක්ෂාකාරී රාජ්‍යයක් තුල රැකවරණය සඳහා අයිතියක් හිමිව තිබූ බැවිනි.

මක්නිසාද යත්, සිය  වගා බිම ගසාගෙන ගිය සෑම ගොවියෙකුටම අනතුරු ඇඟවීම්වලට සවන් දී තම ගොවිතැන රැකදෙන පාලනයක රකවනය ලැබීමට අයිතියක් තිබූ බැවිනි.

මක්නිසාද යත්, ජාතියක ගෞරවය රඳා පවතින්නේ එය බලවත් අය ආරක්ෂා කරන ආකාරය මත නොව, වඩාත්ම අවදානමට ලක්විය හැකි පුරවැසියන්  ආරක්ෂා කරන ආකාරය මත නිසාය.

ඩිට්වා සුළි කුණාටුව එහි තිබු ප්‍රචණ්ඩත්වය නිසා පමණක් නොව, එය විසින් හෙළි කළ අමිහිරි සත්‍යය සඳහා ද වැදගත් පාඩම් රැසක් අපට කියා දෙයි.

මෙම ව්‍යසනයට අර්ථයක් ලබා ගැනීමට නම්, එය පුරවැසියන් නිදා සිටින රාජ්‍යයක් ඉවසා සිටීම ප්‍රතික්ෂේප කරන මොහොත බවට පත්විය යුතුය.

රටක පුරවැසියන් දියේ ගිලෙන, පන පිටින් පස් කඳු වලට යටවෙන, ඛේදවාචක පිලිබඳ පාලකයින්ට  නිදහසට කරුණු පිටුපස සැඟවෙන්නට ඉඩදිය යුතු නැත. 

මෙය ජනතා කෝපයක්  නොවේ, එය වගකීමකි .

මෙය ජනතා කැරැල්ලක්  නොවේ,  එය දේශප්‍රේමයකි.

මෙය පුරවැසි අශුභවාදය නොවේ, එය මහජන අධිෂ්ඨානයක් විය යුතුය.

ඩිට්වා සුළි කුණාටුව අදක්ෂ පාලනයක සැබෑ තතු හෙළි කළේය. 

නමුත් එය ඊටත් වඩා බලවත් දෙයක් අවදි කළේය. එවැනි අසාර්ථකත්වයක් නැවත කිසිදා සිදුවීමට ඉඩ නොදීමට තිර අධිෂ්ඨානයක් ජාතියට රැගෙන ආවේය.

සටහන: විජේපාල දිසානායක

භාණ්ඩාගාරික

ආසියානු භූ දේශපාලන තිරසතාවය, සහ සාමය සඳහා වූ කවුන්සිලය

Asian Geopolitical Sustainability & Peace Council. (AGSPeC)

Email: [email protected]

Latest Posts

spot_imgspot_img