Latest Posts

ලෝකයම සංඛ්‍යාත අත්හරින යුගයක CSN ගොඩගන්න යන ‘වැනිලා පොන්සි’ ජාවාරම: මූල්‍ය පද්ධතිය වනසන ‘වගා මාෆියාවට’ එරෙහිව මහ බැංකුව තවමත් නිදිද?

Jayani Premathilaka | විශේෂ ලිපියකි

සමස්ත ලෝකයම රූපවාහිනී සංඛ්‍යාත (TV Frequencies) අත්හැර දමමින්, අධික පිරිවැය සහිත සම්ප්‍රදායික මාධ්‍යවලින් ඉවත් වී ඩිජිටල් මාධ්‍ය වෙත සීඝ්‍රයෙන් සංක්‍රමණය වන තාක්ෂණික යුගයක, ශ්‍රී ලංකාව තුළ අතිශය විකාරරූපී මෙන්ම බරපතල සැකකටයුතු මාධ්‍ය මෙහෙයුමක් ආරම්භ වී තිබේ. ඒ, මෑත කාලයේ මෙරට තුළ මහා විනාශකාරී ලෙස ව්‍යාප්ත වන, ‘වගා ආයෝජන’ (Plantation Investments) නමින් පෙනී සිටින නියාමනය නොවන පිරමීඩ සහ පොන්සි මූල්‍ය ජාලයක් විසින් බිලියන ගණනින් මුදල් විසි කරමින් අභාවයට ගිය රූපවාහිනී නාලිකා මිලදී ගැනීමට දැඩි උත්සාහයක නිරත වීමයි.

පසුගිය කාලයේ දැඩි ආන්දෝලනයකට තුඩු දෙමින්, නීතිමය හා මූල්‍ය අක්‍රමිකතා රැසකට මැදිව වැසී ගිය CSN (Carlton Sports Network) රූපවාහිනී නාලිකාව යළිත් වරක් කරළියට පැමිණීමට සූදානම් වන්නේ මෙම සැකකටයුතු ව්‍යාපාරික මෙහෙයුමේ ප්‍රතිඵලයක් ලෙසිනි. ‘Agro Ventures’ නම් ජාලයට අනුබද්ධිත ‘බිස්නස් මීඩියා ඉන්ටර්නැෂනල්’ (Business Media International) නම් ආයතනයක් හරහා, වසර 20ක දීර්ඝකාලීන බදු පදනමක් යටතේ CSN අත්පත් කරගැනීමට සූදානම් වන අතර, ඒ වෙනුවෙන් මාසිකව ගෙවීමට එකඟ වී ඇති මුදල රුපියල් දෙකෝටි තිස්අට ලක්ෂයකි (රු. මිලියන 23.8). මාස 6ක සිට පර්යේෂණ විකාශන පවත්වන මෙම නාලිකාවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී (COO) ලෙස ස්වර්ණවාහිනී සමාගමේ හිටපු ප්‍රධාන ඉංජිනේරු නිලූප රණවීර කටයුතු කරන අතර, හිටපු රාජ්‍ය මාධ්‍ය ප්‍රධානියෙකු ඊට ඉහළ CCO තනතුර හොබවන බවද වාර්තා වේ.

‘හරිත රන්’ මායාව: මුළු ලෝකයේම වැනිලා නිෂ්පාදනය මෙන් දෙගුණයක් ලංකාවේ තනි සමාගමක් හදනවාලු!

මෙම වගා ආයෝජන මාෆියාව “වැනිලා ප්ලැනිෆෝලියා” (Vanilla Planifolia) වගා කරන බවත්, වසර 5කට පසු 120%ක අතිවිශාල ලාභයක් ලබාදෙන බවත් පවසමින් මාතලේ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලය හරහා ඉඩම් හිමිකම් පවරන බව පවසා ජනතාව මුළා කරති. 2030 වන විට වැනිලා වැල් මිලියන 4කින් කිලෝග්‍රෑම් මිලියන 16ක අස්වැන්නක් ගන්නා බව පවසන මුත්, ජාත්‍යන්තර සහ දේශීය අපනයන සංඛ්‍යාලේඛන ඉදිරියේ මොවුන්ගේ කෙබරය සම්පූර්ණයෙන්ම හෙළිදරව් වේ.

2024 වසරේ සමස්ත ශ්‍රී ලංකාවෙන්ම අපනයනය කර ඇත්තේ වැනිලා කිලෝග්‍රෑම් 5,262ක් වැනි ඉතා අල්ප ප්‍රමාණයක් වන අතර, ඊට අදාළ සමස්ත අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 1.07ක් (රුපියල් කෝටි 32–35) පමණි. නමුත්, මෙම වගා ආයෝජන සමාගම පමණක් 2030 වන විට කිලෝග්‍රෑම් මිලියන 16ක අස්වැන්නක් ලබාගන්නා බව පවසයි. එය වත්මන් ශ්‍රී ලංකාවේ මුළු වාර්ෂික අපනයනය මෙන් 3,040 ගුණයකි! තවත් ලෙසකින් කිවහොත්, සමස්ත ලෝකයේම වාර්ෂික වැනිලා නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 8,000ක් (කිලෝ මිලියන 8ක්) වෙද්දී, මුළු ලෝක නිෂ්පාදනය මෙන් දෙගුණයක් ශ්‍රී ලංකාවේ එක් සැකකටයුතු සමාගමක් නිපදවන බව කීම ගණිතමය විහිළුවක් පමණක් නොව මහජනයා නොමඟ යවන අමු ජාවාරමකි.

මුළු රටටම වැනිලා වලින් ලැබෙන වාර්ෂික ආදායම රුපියල් කෝටි 35කට සීමා වී තිබියදී, බිලියන ගණනින් ලාභ බෙදීමට කීමෙන්ම මනාව පැහැදිලි වන්නේ මොවුන් කරන්නේ භෞතික වගාවක් නොව, ගණිතමය වශයෙන් කළ නොහැකි මායාවක් විකුණමින් මහජන මුදල් කොල්ලකෑම බවයි. 2022දී ආරම්භ වී වසර 4ක් තුළ රුපියල් බිලියන 60ක වත්කම් ගොඩනැගූ බව කියන, තලවතුගොඩ සාමාන්‍ය රක්ෂණ නියෝජිතයන් ලෙස සිට කොළඹ සුපිරි මහල් නිවාසවල පදිංචිකරුවන් වූ මෙම ජාවාරම්කරුවන් පිටුපස ඇත්තේ දැවැන්ත මූල්‍ය වංචාවකි.

‘වගා ආයෝජකයින්’ නමින් පෙනී සිටින පිරමීඩකාරයින්ට මාධ්‍ය නාලිකා අත්‍යවශ්‍ය මන්ද?

හාල්, අල, ළූනු සහ එළවලු පවා පිටරටින් ගෙන එන රටක, මේ කියන තරම් භෞතික වගාවක් සැබැවින්ම සිදුවන්නේද යන්න දැඩි සැකසංකා සහිතය. වැනිලා පමණක් නොව, විවිධ වගාවන් මුදලට තබා ගනිමින් අධිලාභ පොරොන්දු වන සෙසු ‘වගා ආයෝජන’ සමාගම් පිළිබඳවද සමස්ත සමාජයම දැඩි සැකයකින් සහ අවධානයෙන් පසුවිය යුතුය. මොවුන් මෙතරම් මුදල් විසි කරමින් මාධ්‍ය නාලිකා මිලට ගැනීමට වෙහෙසෙන්නේ කරුණු 3ක් උදෙසාය:

1. නීත්‍යානුකූල භාවයක් මවාපෑම: පොන්සි (Ponzi) ආකෘතියක් පවත්වාගෙන යාමට නිරන්තරයෙන් අලුත් ආයෝජකයින්ගේ මුදල් අවශ්‍ය වේ. ප්‍රධාන ධාරාවේ මාධ්‍ය නාලිකාවක් තමන් සතුවීම හරහා විශ්වසනීය ප්‍රතිරූපයක් මවා ගැනීමට මොවුන් උත්සාහ කරයි.

2. මහ බැංකු අනතුරු ඇඟවීම් යටපත් කිරීම: මහ බැංකුව සහ වගකිවයුතු මාධ්‍ය මගින් මෙම වංචා හෙළිදරව් කරන විට, ඊට එරෙහිව ජනතාවගේ මොළ සේදීමටත් (Brainwashing) තම ජාවාරම සාධාරණීකරණය කිරීමටත් තමන්ගේම මාධ්‍ය බලයක් භාවිත කරයි.

3. කළු සෙවනැලි වසා ගැනීම: හෙළිදරව් නොවන මුදල් සුදු කරගනිමින් (Money Laundering) ජනතාවගේ මුදල් තවදුරටත් ආකර්ෂණය කරගැනීමේ මෙහෙයුමට නීත්‍යානුකූල මුහුණුවරක් ලබාදීම.

ශ්‍රී ලංකා මහ බැංකුවට දැඩි අවවාදයක්: රටම ආර්ථික අවදානමක තියෙද්දී මේ සූදුවට ඉඩදී බලා සිටින්නේ ඇයි?

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පසුගියදා ප්‍රකාශ කළේ මෙවැනි ව්‍යාපෘති මහ බැංකුවේ කිසිදු නියාමනයකට ලක්නොවන නීතිවිරෝධී තැන්පතු ලබාගැනීම් (Unregulated Deposit Taking) විය හැකි බැවින් ඒවායේ මුදල් ආයෝජනය නොකරන ලෙසයි.

නමුත් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත අප ඍජුවම ප්‍රශ්න කර සිටින්නේ, හුදෙක් මාධ්‍ය නිවේදන නිකුත් කරමින් ජනතාවට අවවාද කිරීමෙන් පමණක් ස්වකීය වගකීමෙන් නිදහස් විය හැකිද? යන්නයි. රටම දැවැන්ත ආර්ථික අර්බුදයක සහ අවදානම් තත්ත්වයක පවතින මොහොතක, නියාමනය නොවන මෙවැනි දැවැන්ත මූල්‍ය ආයතන සහ පිරමීඩ වගා ජාලයන් නිදහසේ පවත්වාගෙන යාමට ඉඩහැරීම මුළු මෙරට මූල්‍ය පද්ධතියම අගාධයකට හෙළීමකි.

සක්විති, කොතලාවල සහ ගෝල්ඩන් කී වැනි මූල්‍ය වංචාවලින් මෙරට අහිංසක ජනතාව තැවූ කඳුළු තවමත් වියළී නැත. එවැනි පසුබිමක, වගා ආයෝජන නමින් මහජන මුදල් එකතු කරමින්, ප්‍රධාන ධාරාවේ මාධ්‍ය නාලිකා පවා අත්පත් කරගනිමින් රාජ්‍ය නීතිය සහ මූල්‍ය නියාමනය හස්තගත කිරීමට උත්සාහ කරන මෙම ‘වගා මාෆියාවට’ එරෙහිව වහාම නීතිමය පියවර නොගතහොත්, එහි ඛේදනීය පලවිපාක විඳීමට සිදු වන්නේ සමස්ත ශ්‍රී ලාංකේය ආර්ථිකයටමය. මහ බැංකුව වහා අවදි විය යුතුය!

Latest Posts

spot_imgspot_img