මෙරටට ඉන්ධන ආනයනය කිරීමේදී දැරීමට සිදුවන “ගොඩබෑමේ පිරිවැය” (Landed Cost) ඉහළ ගොස් ඇති බව පවසමින්, පෞද්ගලික ඉන්ධන අලෙවි සමාගම් (LIOC, Sinopec, RM Parks) සිය ඉන්ධන මිල ගණන් ඉහළ නැංවීමට අවසර ඉල්ලා රජයට දැනුම් දී තිබේ.

කෙසේ වෙතත්, මෙහිදී තීරණාත්මක ලෙස නැගෙන්නේ, පිරිවැය සුළු වශයෙන් ඉහළ යන සෑම අවස්ථාවකදීම එහි සමස්ත බර සහ පීඩනය නැවත නැවතත් අසරණ මහජනතාව මතම පටවා අතපිසදා ගැනීමට පෞද්ගලික තෙල් සමාගම් සූදානම් වන්නේද? යන ප්‍රශ්නයයි.
ජනතාව පීඩාවට පත් නොකිරීමට ආණ්ඩුව සහ CPC දැඩි තීරණයක
පවතින ආර්ථික තත්ත්වය හමුවේ වුවද, පාරිභෝගිකයා මත අමතර බරක් නොපටවා ජනතාව රැකගැනීම සඳහා රජය සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) ඉතා නම්‍යශීලී මෙන්ම සානුකම්පිත ස්ථාවරයක සිට කටයුතු කරමින් සිටියි.
- CPCය පාඩුව කරගහමින් ජනතාවට සහන දෙයි: CPC සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා පෙන්වා දෙන්නේ ඉන්ධන ඇණවුම් කිරීම සහ තොග මෙරටට ළඟා වීම අතර පවතින මාස දෙකක පමණ කාල පරතරය නිසා පිරිවැය වෙනස්වීම් සිදුවුවද, ඉන් ජනතාවට වන බලපෑම අවම කිරීම සංස්ථාවේ ප්‍රධාන අරමුණ බවයි. ඒ වෙනුවෙන් සිදුවන පිරිවැය බරෙන් කොටසක් සංස්ථාව විසින්ම දරා ගැනීමට සූදානම් බවද ඔහු සෘජුවම ප්‍රකාශ කර ඇත.
- රජයේ ස්ථාවරය: රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සඳහන් කරන්නේ CPCය පාඩු ලබන තත්ත්වයක වුවද, ඉහළ ගිය Landed Cost එක සම්පූර්ණයෙන්ම පාරිභෝගිකයා පිට පටවා ජනතාව තවදුරටත් පීඩාවට පත් නොකරන බවයි.
ජනතාව ආරක්ෂා කිරීමට රාජ්‍ය අංශය මෙලෙස ඉදිරිපත් වෙද්දී, පෞද්ගලික සමාගම්වල පිළිවෙත කුමක්ද?
පෞද්ගලික සමාගම්වල තීරණය පිළිබඳව නැගෙන ප්‍රශ්නාර්ථ
මෙරට බලශක්ති ක්ෂේත්‍රය තුළ සාධාරණ තරඟකාරීත්වයක් ඇති කරමින් පාරිභෝගිකයාට සහන සැලසීමේ අරමුණින් වෙළෙඳපොළට පැමිණි පෞද්ගලික සමාගම්, සිය ලාභ පරමාර්ථය පමණක් පෙරදැරි කරගනිමින් කටයුතු කරන්නේද යන සාධාරණ සැකය මහජනතාව තුළ නිර්මාණය වී තිබේ.
1. ලාභ ලබද්දී නිහඬව සිට පිරිවැය වැඩිවන විට ජනතාව පිට පටවනවාද? ඉන්ධන මිල පහළ යන අවස්ථාවලදී සහ ස්ථාවරව පවතින විටදී දැවැන්ත ලාභ උපයන පෞද්ගලික සමාගම්, ගොඩබෑමේ පිරිවැය ඉහළ යන විටම එහි සමස්ත බර පාරිභෝගිකයා පිට පටවා සිය ලාභ පරතරය ආරක්ෂා කරගැනීමට උත්සාහ කිරීම කෙතරම් සාධාරණද?
2. සමාජයීය වගකීම පැහැර හැරීම: රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් පවතින මෙවැනි සංවේදී මොහොතක, රජය සහ රාජ්‍ය සංස්ථාව පාඩුව දරාගනිමින් ජනතාව රැකගැනීමට උත්සාහ කරද්දී, පෞද්ගලික සමාගම් සිය සමාජයීය වගකීමෙන් මිදී ක්ෂණිකව මිල වැඩි කිරීමට පමණක් උත්සාහ කිරීම ප්‍රශ්නගත කරුණකි.
3. ජනතා පීඩනය වැඩිවීම: බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සඳහන් කළ පරිදි ගිවිසුම් ප්‍රකාරව පෞද්ගලික සමාගම්වල මිල සංශෝධනය කිරීමට නීතිමය බාධාවක් නොමැති වුවද, ඔවුන් මිල ඉහළ දැමුවහොත් එය පාරිභෝගිකයා තවදුරටත් අසරණ කිරීමට හේතු වනු ඇත.
නිගමනය
ඉදිරියේදී පවතින මිල සූත්‍රය හරහා මිල සංශෝධන කිරීමට CPCට සිදුවුවද, ආණ්ඩුව දැනට ගෙන ඇති පාරිභෝගික හිතකාමී ස්ථාවරය ජනතාවට මහත් අශ්වාසයකි. පෞද්ගලික සමාගම්ද තමන්ගේ ලාභය පමණක් නොසිතා, මෙවැනි අවස්ථාවක ජනතාව පිට අමතර බරක් නොපටවන පාරිභෝගික හිතකාමී තීරණයකට එළඹෙනු ඇතැයි මුළු රටම අපේක්ෂා කරයි.



