Latest Posts

ජනතාවට VAT – වාහන ජාවාරම්කාරයින්ට බිලියන 120 ක බදු සහන!

කෝටි ගණනක බදු හිඩැසෙන් භාණ්ඩාගාරය සුරක්ෂිත කරනවා වෙනුවට ජාවාරම්කාරයන්ගේ සාක්කු පිරෙන හැටි මෙන්න!

මැතිවරණ වේදිකා පුරා කෑගසමින් “අප බලයට ආ වහාම ජනතාව පීඩාවට පත්කරන අධ්‍යාපනය, සෞඛ්‍යය සහ අත්‍යවශ්‍ය ආහාර සඳහා වන VAT බද්ද වහාම අහෝසි කරනවා” යැයි දුන් පොරොන්දු අද අතීතයට පමණක් සීමා වී ඇත. ජනතාවගේ බඩගෝස්තරයට, දරුවාගේ පොතපතට සහ ලෙඩෙකුගේ බෙහෙත් පෙත්තට පවා වැට් (VAT) ගසමින් ජනතාවගේ ලේ උරා බොන පාලකයන්, අනිත් පැත්තෙන් මහ පරිමාණ වාහන ජාවාරම්කාරයන්ට රුපියල් බිලියන 120 කට අධික මහා බදු සහනයක් බන්දේසියක තබා පිරිනමන අයුරු HariDeshaya.lk ගවේෂණාත්මක කණ්ඩායම විසින් රට හමුවේ අනාවරණය කරමු!

මොකක්ද මේ මහා බදු ජාවාරම? (15% Tax Loophole)

2016 අංක 1971/10 දරන රේගු ගැසට් නිවේදනය අස්සෙන් රිංගා යමින් ජාවාරම්කරුවන් කරන්නේ අමුම අමු ජාතික වංචාවකි:

  • විදේශ රටකින් එකම එක දිනක් හෝ පැය කිහිපයක් නමට පමණක් ලියාපදිංචි කළ, මීටර් බිංදුවේ පවතින අලුත්ම වාහනය මෙරටට ගෙන එන්නේ “තනිපත නොවන” (Non-brand-new) වාහනයක් ලෙසයි.
  • ඒ හරහා රේගු නීතියේ ඇති හිඩැසකින් රිංගා 15% ක ක්ෂයවීම් සහනයක් (Depreciation allowance) ලබා ගනී.
  • මෙසේ අලුත්ම වාහනයක් පැයකට වෙනත් අයෙකුගේ නමට දමා ලංකාවට පටවන ජාවාරම්කාරයන්, එක වාහනයකින් රුපියල් ලක්ෂ 15 සිට 20 දක්වා රේගු බදු වංචාවක් සිදු කරයි!

ජනතාවගේ සෞඛ්‍යයට, අධ්‍යාපනයට කපපු බිලියන 120 ජාවාරම්කාරයන්ගේ සාක්කුවේ!

ලංකා මෝටර් රථ වෙළෙන්දන්ගේ සංගමයේ (CMTA) ගණනය කිරීම්වලට අනුව මේ වසරේදී පමණක් මෙලෙස භාණ්ඩාගාරයට අහිමි වන මුදල රුපියල් බිලියන 120 (කෝටි 12,000) ඉක්මවා යයි.

  • Toyota Raize වාහන 8,900 කින් පමණක් අහිමි කළ බදු ආදායම රුපියල් බිලියන 18.7 කි!
  • Yaris Cross ඇතුළු අනෙකුත් මොඩලවලින් අහිමි කළ මුදල බිලියන 12 කි!
  • Honda Vezel වාහනයකින් රුපියල් ලක්ෂ 18 ක් සහ Kia වාහනයකින් රුපියල් ලක්ෂ 15 ක බදු පොල්ලක් භාණ්ඩාගාරයට තබා ඇත!

වේදිකාවේදී “ජනතාවගේ VAT කපනවා” යැයි කියූ පාලකයන්ට, ජනතාවගේ පාසලට, රෝහලට සහ කෑම වේලට දාන්න තිබුණු මේ කෝටි 12,000 ක මුදල ජාවාරම්කාරයන්ට පූජා කරද්දී ඒ ගැන වචනයක්වත් කතා කරන්න කටක් නැත්තේ මන්ද?

බදු සහනයේ වාසිය පාරිභෝගිකයාටද? නැත, ජාවාරම්කාරයාගේ සාක්කුවටමයි!
රජයට හිමිවිය යුතු මේ බිලියන ගණනක බදු සහනයේ වාසියවත් වාහනයක් මිලදී ගන්නා අසරණ පාරිභෝගිකයාට හිමිවන්නේ නැත.

1. අහස උසට මිල ගණන්: ආනයනකරුවන් මෙම රුපියල් ලක්ෂ ගණනක බදු සහනය තමන්ගේ අතිරේක ලාභය (Margin) ලෙස තබා ගනිමින් වාහන අලෙවි කරන්නේ අහස උසට තැබූ ගණන්වලටය.

2. වගකීමක් (Warranty) නෑ: බලයලත් නියෝජිතයන්ගෙන් තොරව ගෙන එන මෙම වාහන සඳහා කිසිදු නිෂ්පාදක වගකීමක් හෝ නිසි අලෙවියෙන් පසු සේවාවක් හිමි නොවේ.

3. ජනතාව රවටන සූදුව: නියමිත නියෝජිතයන් යටිතල පහසුකම් සහ සේවක පඩි නඩි ගෙවද්දී, මේ හොර පාරෙන් ගෙනෙන ජාවාරම්කාරයන් කිසිදු පිරිවැයකින් තොරව කෝටි ගණන් ලාභ උපයමින් පාරිභෝගිකයා අසරණ කරයි.

HariDeshaya.lk පාලකයන්ගෙන් කෙලින්ම අසන ප්‍රශ්න:

  • මැතිවරණ පොරොන්දු කොහෙද?: “ජනාධිපති වුණු ගමන් අධ්‍යාපනයට, සෞඛ්‍යයට, කෑම වේලට තියෙන VAT එක අයින් කරනවා” කියපු මාලිමාවේ වේදිකාවේ පොරොන්දු අද කොහේද?
  • ජාවාරම්කාරයන් සුරතල් කරන්නේ ඇයි?: සාමාන්‍ය ජනතාවගේ බඩට ගහන ගමන්, වාහන ජාවාරම්කාරයන්ට බිලියන 120 ක බදු සහන දෙමින් ඔවුන්ව සුරතල් කරන්නේ කාගේ කොමිස් කුට්ටි වෙනුවෙන්ද?
  • ගැසට් එක වෙනස් නොකරන්නේ ඇයි?: එක පෑන් පාරෙන් වෙනස් කරන්න පුළුවන් මේ 15% බදු හිඩැස වහන්නේ නැතුව, ජනතාව මත බදු පටවන්නේ කාට සේවය කරන්නද?

HariDeshaya.lk අවධාරණය:
ජනතාවගේ කෑම වේලට සහ අධ්‍යාපනයට ගසා ඇති VAT බද්ද වහාම අහෝසි කරනු! වාහන ජාවාරම්කාරයන්ට බිලියන 120 ක බදු සහන දෙන මේ 15% ගැසට් එක වහාම අහෝසි කර, ජනතාවගේ මුදල් භාණ්ඩාගාරයට ලබා ගැනීමට පියවර ගනු!

Latest Posts

spot_imgspot_img