පාර්ලිමේන්තුවේ ගෞරවය, ස්වාධීනත්වය සහ ව්‍යවස්ථාපිත සාධාරණත්වය සුරැකීමට බැඳී සිටින වත්මන් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා, අද වන විට මහජන මුදලින් නඩත්තු වන රාජ්‍ය සම්පත් අයථා ලෙස භාවිත කිරීමේ දූෂණ චෝදනා හමුවේ දැඩි අර්බුදයකට ලක්ව සිටී.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් ඒසී/0356/2026 B-206 ගොනු අංකය යටතේ කථානායකවරයාට එරෙහිව පවත්වන විමර්ශන පිළිබඳව තොරතුරු හෙළිදරව් වී ඇති අතර, ඊට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා විසින් කථානායකවරයාට එරෙහිව බරපතල වරප්‍රසාද ප්‍රශ්නයක් ද ඉදිරිපත් කර ඇත.
රෙදි සෝදන යන්ත්‍රයේ සිට ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා: ළබැඳියාවන් අතර ගැටුම (Conflict of Interest)
උවින්දු කුරුකුලසූරිය මහතා විසින් හෙළිදරව් කරන ලද පිටු 192ක පාර්ලිමේන්තු රහස් වාර්තාවට සහ අභ්‍යන්තර ලේඛනවලට අනුව, කථානායකවරයාගේ පෞද්ගලික පරිහරණය සඳහා භාවිත කරන ලද ඇඳ ඇතිරිලි (Bed sheets), කොට්ට උර සහ තුවා පවා නිල නිවසෙන් ලබාගෙන, රෙදි සෝදන ආයතන (Laundromats) වෙත යවා මුදල් ගෙවා ඇත්තේ පාර්ලිමේන්තු ප්‍රතිපාදනවලිනි. මෙම සුළු යැයි සම්මත අක්රමිකතාව පිටුපස ඇති නීතිමය හා සදාචාරාත්මක නිරුවත පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් ඉදිරිපත් කළ වරප්‍රසාද යෝජනාවෙන් මනාව පැහැදිලි වේ.
1. දූෂණ විරෝධී පනත උල්ලංඝනය කිරීම: 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 162 වගන්තියට අනුව කථානායකවරයා “රජයේ සේවකයෙකි”. පනතේ 107 වන වගන්තිය මඟින් තමාට එරෙහිව විමර්ශනයක් පවතින අවස්ථාවක හෝ තමාට සෘජු/වක්‍ර බලපෑමක් ඇති කාරණාවලදී තීරණ ගැනීමට හෝ සහභාගී වීමට ඇති ඉඩකඩ සම්පූර්ණයෙන්ම අහුරා ඇත. එසේ තිබියදී, අල්ලස් කොමිසමේ අයවැය ඇස්තමේන්තු සභාගත කිරීමටත්, දූෂණ විරෝධී පනතේ සංශෝධනවලදී මූලාසනය හෙබවීමටත් කථානායකවරයා කටයුතු කිරීම නීතිවිරෝධී වේ.
2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති ධූරය: අල්ලස් කොමිසමේ සාමාජිකයන් සහ අධ්යක්ෂ ජනරාල්වරයා පත් කිරීමට නිර්දේශ කරන්නේ කථානායකවරයා සභාපතිත්වය දරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවයි. තමාට එරෙහිව විමර්ශන පවත්වන ආයතනයේ නිලධාරීන් පත් කරන සභාවේ ප්‍රධානියා ලෙස ඔහු තවදුරටත් කටයුතු කිරීම ආයතනික අපක්ෂපාතීත්වය හා මහජන විශ්වාසය බිඳ දැමීමකි.
3. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පත්කිරීමේ ගැටලුව: අල්ලස් කොමිසමේ තීරණයකට එරෙහිව සහනයක් ලබාගැනීමට කථානායකවරයාට යාමට සිදු වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයටයි. එම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ පත්වීම් අනුමත කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා ලෙස ඔහු කටයුතු කිරීම බරපතල ළබැඳියාවන්ගේ ඝට්ටනයකි.
4. සාක්ෂිකරුවන්ට හා ලේඛනවලට බලපෑම් කිරීමේ අවදානම: මෙම විමර්ශනයට අදාළ සාක්ෂිකරුවන් වන්නේ පාර්ලිමේන්තු මහ ලේකම්වරිය යටතේ සේවය කරන පාලන, මූල්‍ය හා ප්‍රවාහන අංශවල නිලධාරීන්ය. කථානායකවරයාගේ පෞද්ගලික ලේකම් චමීර ගාල්ලගේ මහතා විසින් මෙම විමර්ශනයට බලපෑම් කිරීමට උත්සාහ කර ඇති බවට (AC/0695/2026 ගොනුව යටතේ) දැනටමත් පැමිණිල්ලක් ලැබී ඇති පසුබිමක, පාර්ලිමේන්තුවේ ප්‍රධානියා ලෙස කථානායකවරයා තවදුරටත් ධූරයේ රැඳී සිටීම සාක්ෂි මර්දනයට මඟ පාදයි.
ආචාරධර්ම සංග්‍රහය සහ මූලික නීතිය හෑල්ලු කිරීම
2018 මාර්තු 07 වන දින සම්මත කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන ආචාරධර්ම සංග්‍රහයේ 7(ආ) සහ 19 වන වගන්තිවලට අනුව, පෞද්ගලික හෝ මූල්‍යමය බැඳියාවක් හෝ චෝදනාවක් පවතින විටෙක අදාළ විවාද හෝ කාරක සභා සඳහා සහභාගී වීමට මන්ත්‍රීවරයකුට (හෝ කථානායකවරයාට) හිමිකමක් නැත.
නෛතික අයිතිය යනු “වරදකරු වන තෙක් නිර්දෝෂීභාවයේ උපකල්පනය” (Presumption of Innocence) වුවද, ආයතනික සදාචාරය (Institutional Integrity) යනු ඊට වඩා වැඩි වගවීමකි.
HariDeshaya.lk ස්ථාවරය:
කථානායක ධූරය යනු හුදෙක් පාර්ලිමේන්තු මූලාසනයක් පමණක් නොවේ. එය රටේ ප්රජාතන්ත්රවාදයේ සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මුරපොළයි. අල්ලස් කොමිසම හමුවේ විමර්ශනයක් පවතින මොහොතක, තමන් යටතේ සිටින නිලධාරීන්ගෙන් ප්‍රකාශ ලබාගන්නා අතරතුර සහ අල්ලස් කොමිසමට බලපෑම් කළ හැකි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති ලෙස කටයුතු කරමින් කථානායක ධූරයේ රැඳී සිටීම සදාචාරාත්මකව නිවැරදිද?
නීතිඥ දයාසිරි ජයසේකර මහතා ඉල්ලා සිටින පරිදි, මෙම වරප්‍රසාද ප්රශ්නය වහාම පාර්ලිමේන්තුවේ ආචාරධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතුය. එතෙක් වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා කථානායක ධූරයේ සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ කටයුතුවලින් ස්වේච්ඡාවෙන් ඉවත් වී, පරීක්ෂණ ස්වාධීනව පවත්වාගෙන යාමට ඉඩ සැලසීම ප්රජාතන්ත්රවාදී ගෞරවයට බඳුන්වන එකම පියවරයි.



