කල් ඉකුත් වූ තේ ඇසුරුමක් පාරිභෝගිකයෙකුට අලෙවි කිරීම සම්බන්ධයෙන් SPAR SL (PRIVATE) LIMITED සමාගමට එරෙහිව කොළඹ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් 200,000ක දඩ මුදලක් නියම කර තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් සිදුකරන ලද වැටලීමකදී, 2026 ජූලි 15 දින කල් ඉකුත් වූ බව සඳහන් ග්‍රෑම් 400 තේ ඇසුරුමක් රුපියල් 1,000ක මුදලකට අලෙවි කර තිබියදී අනාවරණය කරගෙන ඇත.
මෙම ක්‍රියාව 2014 අගෝස්තු 15 දිනැති අංක 1875/38 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ සඳහන් විධාන අංක 52 උල්ලංඝනය කිරීමක් බැවින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් අදාළ නීතිමය පියවර ගෙන තිබුණි.
එම විධානයට අනුව නිෂ්පාදකයින්, ආනයනකරුවන්, බෙදාහරින්නන්, සැපයුම්කරුවන් හෝ වෙළෙඳුන් විසින් කල් ඉකුත් වූ හෝ මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු භාණ්ඩ විකිණීමට ඇති අනෙකුත් භාණ්ඩ සමඟ ගබඩා කිරීම හෝ ප්‍රදර්ශනය කිරීම සප්රතිෂේධිත වේ.
අධිකරණය හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර SPAR SL සමාගම තමන් කළ වරද පිළිගත් අතර, ඒ අනුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම දඩ මුදල නියම කරන ලදී.
ආහාර හා පානීය භාණ්ඩ මිලදී ගැනීමේදී කල් ඉකුත් වීමේ දිනය පරික්ෂා කිරීමටත්, මිලදී ගත් බිල්පත සුරක්ෂිතව තබා ගැනීමටත් පාරිභෝගික අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටී. මෙවැනි අක්‍රමිකතා පිළිබඳ තොරතුරු 1977 කෙටි ඇමතුම් අංකය ඔස්සේ දැනුම් දිය හැක.



