සංස්කෘතියේ සහ නර්තනයේ නාමයෙන්, කලා පෙළහර පාන මුවාවෙන් ඕස්ට්‍රේලියාවට කෙරෙන අතිශය හීන, නීති විරෝධී මහා මානව ජාවාරමක කුණු රෙදි එකින් එක අමු අමුවේ ගැලවෙන්නට පටන් ගෙන තිබේ. ඕස්ට්‍රේලියානු රජය විසින් මෙරට සැබෑ කලාකරුවන් වෙනුවෙන් වෙන් කර ඇති Subclass 408 (Entertainment Visa) හි හිඩැස්වලින් රිංගා ක්‍රියාත්මක වන මෙම ජාවාරම පිටුපස සිටින්නේ, කලාව විකුණන් කන කූට සංවිධායකයන් සහ ඕස්ට්‍රේලියාවේ සිටින මහා පරිමාණ ආපනශාලා හිමියන් පිරිසකි.

තාක්ෂණික ශිල්පීන්ගේ ලේබලයෙන් ලාභ ශ්‍රමිකයන් යවන හැටි
මෙම මාෆියාවේ ප්‍රධානතම උපක්‍රමය වී ඇත්තේ සංගීත කණ්ඩායම්, තාක්ෂණික ශිල්පීන් සහ වේදිකා සහායකයින්ගේ ලේබලය ගසා කිසිදු අදාළත්වයක් නැති පිටස්තරයන් ඕස්ට්‍රේලියාවට පැටවීමයි. සංදර්ශන පෙන්වන මුවාවෙන් කෝටි ගණන් මුදල් අතයටින් ග්‍රහණය කරගනිමින් මෙසේ රට පටවන මිනිසුන්, අවසානයේ නතර වන්නේ අදාළ සංවිධායකයන්ගේම ඕස්ට්‍රේලියානු හෝටල්වල සහ ආපනශාලාවල බුදල් වෙන ලාභ ශ්‍රමිකයන් ලෙස ය. මෙයට කලාව කියන්නේද? නැතහොත් අමුම අමු මානව ජාවාරම කියන්නේද?
නර්තන වින්යාසකරුවනුත් චෝදනා මැද!
මෙම කුණු ජාවාරම සංගීතයට විතරක් සීමා වී නැත. නර්තන ප්‍රසංග සංවිධානය කිරීමේ මුවාවෙන්ද මෙම වංචාව නූලටම සිදුවේ. ප්‍රවීණ නර්තන කණ්ඩායම් අතරට නීති විරෝධී සංක්‍රමණිකයන් ඔබ්බවන මෙම තිරස්චීන ක්‍රියාවලියට ඇතැම් ප්‍රසිද්ධ නර්තන වින්යාසකරුවන් (Choreographers) පවා සෘජුවම කරගසා සිටින බවට ප්‍රබල චෝදනා එල්ල වෙමින් පවතී. කලා අයිතීන් පාවා දෙමින් මුදල් කුට්ටිවලට යට වූ මේ සට්ටඹිරාලලාට එරෙහිව තාමත් නීතිය ක්‍රියාත්මක නොවන්නේ මන්ද?
සුපිරි තරුත් මාට්ටු වෙන ලකුණු: දන්නවා, හැබැයි සද්ද නෑ!
මෙහි ඇති පිළිකුල් සහගතම යථාර්ථය වන්නේ මෙරට ප්රමුඛ පෙළේ සුපිරි ගායක ගායිකාවන් සහ කලාකරුවන් ද මෙම ජාවාරම පිළිබඳව හොඳින්ම දැනුවත්ව සිටීමයි. ඕස්ට්‍රේලියාවට පය තැබූ සැණින්, මීට පෙර මෙවැනිම වංචනික වීසා ක්‍රමවලින් පැමිණ නීති විරෝධීව රැඳී සිටින පිරිස් සමඟ මොවුන් කිසිදු ලැජ්ජාවකින් තොරව ගනුදෙනු කරති. තමන්ගේ සාක්කුව පිරෙනවා නම් රටට හෝ කලාවට වෙන ඕනෑම විනාශයක් දෙස ඇස් කන් පියාගෙන සිටින මෙවැනි “තරු” කියාගන්නා පිරිස් පිළිබඳව සමාජය මීට වඩා අවදියෙන් සිටිය යුතුය.
ශිෂ්‍ය වීසා සූදුව සහ කැපෙන වීසා පෝලිම
ප්‍රසංග වීසා මත රටට රිංගන මෙම හොර පිරිසේ මීළඟ සූදුව වන්නේ ඕස්ට්‍රේලියාව ඇතුළෙන්ම ශිෂ්‍ය වීසා (Student Visa) සඳහා අයදුම් කිරීමයි. සංස්කෘතික හුවමාරුවකට යන මුවාවෙන් රටට පැන, දීර්ඝකාලීනව එරට රැඳී සිටිමින් රැකියාවල නිරත වන මෙම මහා වංචාව ගැන ඕස්ට්‍රේලියානු ආගමන વિගමන බලධාරීන්ගේ දැඩි අවධානය යොමු වී අවසන්ය.
මෙහි රතු එළිය පත්තුවන්නේ ඉදිරියේදීය. මෙම අකටයුතුවලට අනුබල දෙන සියලුම ශිල්පීන්ගේ Subclass 408 (Entertainment Visa) මෙන්ම Visitor Visas පවා අහෝසි කර දැමීමට ඕස්ට්‍රේලියානු බලධාරීන්ට පූර්ණ හැකියාව ඇත. මුදලට තණ්හාවේ ජාවාරම්කරුවන් කරන මේ නින්දිත වැඩේ නිසා ඉදිරියේදී සැබෑ කලා කටයුත්තකට විදේශගත වීමට සිටින අහිංසක, අවංක නිර්මාණකරුවන්ට සිදු වන්නේ රට ඇතුළේම කොටුවීමටය.
ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් මේ වනවිටත් ප්‍රශ්න කරන්නේ මේ මහා වීසා මාෆියාව දෙස බලධාරීන් තවමත් ඇස් පියාගෙන සිටින්නේ මන්ද යන්නයි. ලංකාවේ අදාළ ආයතන සහ පොලිසිය තවත් බල බලා සිටින්නේ නැතුව, සංස්කෘතිය විකුණන් කන මෙම මහා ජාවාරම්කාරයන්ගේ ගෙලෙන් අල්ලා නීතිය හමුවට පැමිණවිය යුතුය!



