(කෝරාළගේ ලියුම)
දේශපාලනයේ අලියට, ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂයට අවුරුදු අසුවයි. ඔය අවුරුදු අසුවෙන්, අවුරුදු 32 ක්ම පක්ෂයේ නායකත්වය දැරුවේ ජීවමාන, ලෝක පූජිත, රනිල් වික්‍රමසිංහයන්.


එතුමන්ගේ කාලය තමයි, පක්ශයේ ස්වර්ණම යුගය. එතුමාගේ කාලයේ 2001-2004, 2015 – 2019, හා 2022-2024 හැරෙන්නට, පක්ශය රට පාලනය කරා.
එතුමා, නායකයෝ බිහිකලා. ඒ හැම නායකයෙක්ම, ඊට පෙර අවුරුදු 48 වසරේදි බිහිවු නායකයන්ට වඩා බුද්ධිමත්, ලෝකය දන්න, මුහුකුරා ගිය හා රටට ආදරය කල නායකයන්.
වික්‍රමසිංහ මැතිතුමන්, හැම වේලාවේම හිතුවේ රට, ආගම හා ජාතිය ගැන. එතුමාණෝ හැමතිස්සේම හිතුවේ, මිලියන 22 ක ජනතාව ගැන.
එතුමා යටතේ ඉන්න එක්සත් ජාතික පක්ශයේ නායක මණ්ඩලයට තියෙන්නේ සහජ හැකියාවන්. සංවිධාන කිරීමේ ශක්තිය, ඡන්ද මැශිමවල්, පොළොව තෙත් කරන්න පුලුවන් කතිකයන්. පසුගිය අවුරුදු 32, කිසිම දෙවන පෙල, තුන්වන පෙල නායකයන් පක්ශය හැරදා ගියේ නැහැ. අණෙක් පක්ශවල නායකයන් සිරිකොත දොරවල් කඩාගෙන පක්ෂයට බලෙන් ඇතුල් වෙන්න බැලුවත්, පක්ෂයේ තිබෙන විනය රාමුව නිසා ඒ අයට ඉන්න වුනේ සිරිකොත ඉස්සරහ තියෙන පොඩි තේ කඩයක.
බොහෝ කාලයක්, රාජ්‍ය පාලනය කරපු නිසා, පක්ෂ නායකයන් හිටියේ සතුටින්. 1994 දි තිබුණු ජන්ද පදනම එන්න එන්න වැඩි වෙලා, ඒක දැන් මිලියන තිහක් වෙලා. ඒ තමිල් නාඩුවේ මිනිස්සුත්, මුහුද දෙබෑ කරගෙන බෝට්ටුවෙන් ඇවිත් ඡන්ද දුන්න නිසා.
2024 පස්සේ, රනිල් වික්‍රමසිංහ උතුමානෝට විසඳන්න ගෝලිය ප්‍රශ්න ආවා. රුසියානු – යුක්රේන යුද්ධය, ඊශ්‍රායල පලස්තීන යුද්ධය, ගෝලිය ආර්ථිකය, ටෘම්ප් ඇමරිකානු පැසිස්ට්වාදයට එරෙහිව සටන, ආසියාවේ නැගිටීම, ඉංදියානු ව්‍යාපත්වාදය, බංගලාදේශය, මාලදිවයින හා නේපාල ප්රජාතන්ත්රවාදය සුරැකීමේ සටන, වාගේ බොහෝ දේවල් වලට උපදෙස් ලබා දෙමින්, එතුමාණෝ මුලු ලෝකේම නායකයා වුනා.
එසේම, එක්සත් ජාතික පක්ශයේ ඡන්ද පදනම වැඩි නිසා, ඉතාමත් උපක්රමිකව, ඔහු වාගේම, බුද්ධිමත්, නිර්භීත, එඩිතර, ශඩ් භාෂා පරමේශ්වර, ගායක, වාදක, ඕනෑම දෙයක් කරන්න පූලුවන්, තමුන්ගේ දෙවැනියා වන සජිත් ප්‍රේමදාසට වෙනත් පක්ශයක් හදලා උපක්රමිකව මුලු රටම ඇල්ලුවේ,කාටත් නොතේරන විදිහට.


ප්‍රේමදාස ශ්රිමතානෝත්, වික්‍රමසිංහ උතුමානොගේ අඩි පාරෙන් ගිහින්, ඉතාමත් දුරදර්ශි, කෘතහස්ත, රාජ්‍ය නායකයෙක් වෙලා, එම පක්ශයේ ඉතාමත් සාර්ථකව ඉදිරියට අරන් යනවා. ඒ පක්ශයේ අයත් දැන් ඉන්නේ සතුටින්.
වික්‍රමසිංහ උතුමානෝ, අලියාගේ 80 වන සංවස්තරයේදි, ඩි. ඒ රාජපක්ෂ ගැන පලුමු වරට කිව්වේ, මෙතෙක් කල් හංගගෙන හිටපු රහසක් හැටියට. මුනුපුරු නාමල් වෙනුවෙන් සටන් කිරීමට, වික්‍රමසිංහ උතුමානෝ ඉදිරිපත් වීම, අලියා හදපු, ඩී. ඒ රාජපක්ෂ කෘතහස්ත පුරෝගාමියාට කරපු උපහාරයක්.
නාමල් හොරෙක් නොවෙන බව, වික්‍රමසිංහ උතුමානෝ දන්නේ අද ඊයේ නෙමේ. ඇත්තටම, මහින්ද රාජපක්ෂ හා පොහොට්ටුව කියන්නේ, වික්‍රමසිංහ මහත්තයා අර සජිත් සහ සජබ හැදුවා වගේ, උපක්‍රමයක්.
ඒ වාගේම, අනුර, ජවිපේ හා මාලිමාව කියන්නෙත්, වික්‍රමසිංහ උපක්‍රමයක්.
සුමන්තිරන් හා දෙමල පක්ශ කියන්නේ, වික්‍රමසිංහ උපක්‍රමයක්.
හකිම්, බදුයිඩීන් කියන්නේ, වික්‍රමසිංහ උපක්‍රමයක්.
තොන්ඩමන් හා දිගම්බරම් කියන්නේ, වික්‍රමසිංහ උපක්‍රමයක්.
ඔය දිලිත් හා සර්වජන බලය, වික්‍රමසිංහ උපක්‍රමයක්.
කාඩිනල් හා කතෝලික සභාව කියන්නේ, වික්‍රමසිංහ උපක්‍රමයක්.
මහනායකලා, වික්‍රමසිංහ උපක්‍රමයක්.
ප්‍රොපට් ජෙරොම් කියන්නේ, වික්‍රමසිංහ උපක්‍රමයක්.
ඔය හැම තැනකම ඉන්නේ, එක්සත් ජාතික පක්ශයේ නායකයන්. ඔය එක්සත් ජාතික පක්ශයේ කෑලී කෑලි වලට කැඩුවේ, උපක්රමිකව.
මන්දයත්, වික්‍රමසිංහ උතුමානෝ, එක්සත් ජාතික පක්ෂය විතරක් හැදුවානම්, නායකයෝ මෙතරම් බිහිවෙන්නේ නැහැ.
වික්‍රමසිංහ උතුමානෝ, අමරණීයයි. එක්සත් ජාතික පක්ෂයත් එම නිසා අමරණීයයි.
හැබයි, මේ කතාව ලියන මමත්, කියවන ඔහෙත්, මැරි මැරි ජිවත් වෙනවා. අපේ ජීවත්වීමම, මරණයක්.
මේ රට, මේ විදිහට දුවන එකට, වග කියන්න ඕනෑ වික්‍රමසිංහ උතුමානෝ. ඒකට මේ රටේ මිනිස්සු 97% ක් එකඟ වෙනවා. ඉතුරු 3%, එකඟ වෙන්නේ නැහැ. ඒකත්, වික්‍රමසිංහ උපක්‍රමයක්.
නිමි



