Latest Posts

269කගේ ලේ මතින් ඉදිවූ ‘සතුටුම යුගයේ’ ව්‍යාජය: මෛත්‍රීගේ සම්මානය පිටුපස ඇති අඳුරු යථාර්ථය

පසුගියදා කොළඹදී පැවැත්වුණු ‘Global Brand Awards 2026’ සහ ‘SHE FOR THE NATION – Season 2’ ජාත්‍යන්තර සම්මාන උළෙලේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ‘සතුටුම යුගයේ ජනාධිපතිවරයා’ ලෙස විශේෂ සම්මානයක් පිරිනැමූ පුවත ඇසූ බොහෝ දෙනෙකුට මතුවූයේ ප්‍රශ්නාර්ථයක් නෙවෙයි; දැඩි පිළිකුලක් සහ කෝපයකි. KGF චිත්‍රපටයේ ගරුඩා රාම් වැනි ජාත්‍යන්තර ආරාධිතයන් ඉදිරියේ, ව්‍යාපාරිකයන් සහ වෘත්තිකයන් පිරිසක් මැද රතු පලස් මත හිඳිමින් ඔහු ඒ සම්මානය අතට ගත්තේ, තමන් පාලනය කළ ඒ අඳුරු අතීතය මුළුමනින්ම අමතක කරමිනි.

නමුත් ලේ සහ කඳුළු මතින් ලියැවුණු ඉතිහාසය, ඒ සම්මාන පලකයට වඩා බොහෝ බරපතලය.

269කගේ රුධිරය මතින් භුක්ති වින්ද සතුටක්ද?

මේ කියන ‘සතුටුම යුගයේ’ ඇත්තටම සතුට වින්දේ කවුද? 2019 පාස්කු ඉරිදා උදෑසන, පල්ලි තුළ සහ හෝටල් තුළ අළු වී ගිය අහිංසක මිනිස් ජීවිත 269කගේ පවුල්වල අයට එය සතුටු යුගයක්ද? තමන්ගේ දරුවා, අම්මා, තාත්තා, සහකරුවා අහිමි වී අදටත් සුසුම් හෙලන වින්දිතයන්ට එය සතුටු යුගයක්ද?

ආරක්ෂක අංශ සහ ජාත්‍යන්තර බුද්ධි තොරතුරු මගින් පූර්ව දැනුම්දීම් කර තිබියදීත්, රටේ සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායකයා ලෙස ක්‍රියා කළ මෛත්‍රීපාල සිරිසේන දැක්වූ අතිශය නොසැලකිලිමත් භාවයේ අවසාන ප්‍රතිඵලය වූයේ මෙරට ඉතිහාසයේ කෲරතම ත්‍රස්ත ප්‍රහාරයට මග පාදා දීමයි. මෙම ඛේදවාචකයේ වගකීමෙන් මිදීමට ඔහුට නොහැකි බවත්, ඔහුගේ නොසැලකිල්ල නිසා මෙම ප්‍රහාරය සිදු වූ බවත් තීන්දු කළේ මේ රටේ උච්චතම අධිකරණයයි. තමන්ගේ සාක්කුවෙන් වින්දිතයන්ට වන්දි ගෙවීමට තරම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ වරදකරු වූ එකම රාජ්‍ය නායකයාට ‘සතුටුම යුගයේ ජනාධිපති’ යැයි කියන්නේ නම්, එය මියගිය මිනිසුන්ගේ මතකයන්ට කෙළෙසමින් කරන මහා නින්දිත විහිළුවකි.

ඉන්දීය සාධකය, භූ-දේශපාලනය සහ නලින්ද ජයතිස්සගේ හෙළිදරව්ව

මෙම පාස්කු ප්‍රහාරය හුදෙක් අන්තවාදීන් කිහිපදෙනෙකුගේ වැඩක් පමණක් නොවන බවත්, ඒ පිටුපස දැවැන්ත භූ-දේශපාලනික බලපෑමක් තිබූ බවත් කාලයක් තිස්සේ සාකච්ඡා විය. මෙම ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කිරීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව නියෝජනය කළ, වත්මන් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවා ප්‍රසිද්ධියේම කියා සිටියේ මෙම ප්‍රහාරය පිටුපස ඉන්දියාවේ හස්තයක් පවතින බවයි.

ඉන්දියානු සාගරයේ බලපෑම තහවුරු කරගැනීමට උත්සාහ කළ ඉන්දීය-ලංකා භූ-දේශපාලනික ගැටලු හමුවේ, අදූරදර්ශී ලෙස කටයුතු කරමින් රටේ ජාතික ආරක්ෂක යාන්ත්‍රණය සහ බුද්ධි තොරතුරු පද්ධතිය බිංදුවටම ඇද දමා කලාපීය බලවතුන්ගේ සෙල්ලම් පිටියක් බවට ශ්‍රී ලංකාව පත් කළේ මෛත්‍රීපාලගේ නොහැකියාවයි. රටේ ආරක්ෂාව පාවා දෙමින්, අසල්වැසි බලපෑම් හමුවේ දේවස්ථානවල කුඩා දරුවන්ගේ ලේ ගඟක් ගලා යන තෙක් නිහඬව සිටි පාලනයක් ‘සතුටු යුගයක්’ වන්නේ කෙසේද?

ජනවරම අමු අමුවේ පාවාදුන් දින 52 ව්‍යවස්ථා විරෝධී සෙල්ලම

2015දී මෙරට ලක්ෂ සංඛ්‍යාත ජනතාව ඔහුව බලයට පත්කළේ යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය සුරකිනු ඇතැයි යන මහා විශ්වාසයෙනි. නමුත් 2018 ඔක්තෝබර් මාසයේදී සිදුකළ දින 52 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණය හරහා ඔහු කළේ තමන්ට බලය දුන් සමස්ත ජනතාවගේ ජනවරම අමු අමුවේ බල්ලට දමා පෑගීමයි.

තමන්ගේ පුද්ගලික දේශපාලන ඇරියස් පියවා ගැනීමටත්, බලතල බෙදාගැනීමටත් ව්‍යවස්ථාව විකාරයක් කරමින්, පාර්ලිමේන්තුව තුළ මිරිස් කුඩු ගහන තැනට රටේ ප්‍රජාතන්ත්‍රවාදය හෑල්ලු කළේය. එක රැයකින් අගමැතිවරුන් මාරු කරමින් පැවැත්වූ ඒ නාඩගම අවසානයේදී ශ්‍රේඨාධිකරණය හමුවේ ව්‍යවස්ථා විරෝධී බවට තීන්දු විය. ජනතාව දුන් බලය තමන්ගේ කුහක දේශපාලන උවමනාවන් උදෙසා පාවිච්චි කරමින් ජනවරම හෑල්ලුවට ලක් කළ නායකයෙකුට ජනතාවට සතුටක් දුන්නා යැයි කීමට ඇති හැකියාව කුමක්ද?

සතුට වින්දේ ජනතාවද? නැත, නායකයන් පමනකි!

ඇත්තටම මේ කියන ‘සතුටුම යුගයේ’ සතුට වින්දේ පීඩිත ජනතාව නෙවෙයි. ජනතාවට උරුම වූයේ දිනපතා එකිනෙකාට කකුලෙන් ඇදගන්නා ජනාධිපතිවරයෙක් සහ අගමැතිවරයෙකි. බඩු මිල ඉහළ යද්දී, ආර්ථිකය අස්ථාවර වෙද්දී ජනතාව අසරණ විය.

ඇත්තටම ඒ සතුට වින්දේ ව්‍යවස්ථාව සමග සෙල්ලම් කරමින්, තංගල්ලටයි කොළඹටයි පණිවිඩ යවමින්, අමාත්‍ය ධුර සහ බලතල බෙදාගත් දේශපාලකයන් පමණි. ජනතාවගේ බදු මුදලින් සියලු සැප සම්පත විඳිමින්, තමන්ගේ දේශපාලන රැකවරණය සාදාගත් නායකයන් මිස මේ රටේ දුප්පත් ජනතාව ඒ යුගයේ සතුටක් දැක්කේ නැත.

අහිංසක මිනිස් ජීවිත 269ක් බිලිදී, ජනවරම පාවාදී, ව්‍යවස්ථාව කෙළෙසා, අධිකරණයෙන් පවා වරදකරු වූ මෛත්‍රීපාල සිරිසේන නම් අසාර්ථක දේශපාලනඥයාට මොන තරම් දිලිසෙන සම්මාන පැළඳවුවද, ඉතිහාසය විසින් සහ මේ රටේ සංවේදී ජනතාව විසින් ඔහුට ලබා දුන් “නින්දිතම පාලකයා” යන තීන්දුව කිසිදා වෙනස් කළ නොහැක.

Latest Posts

spot_imgspot_img