Latest Posts

නොමිලේ ලැබුණු එන්නත්වලට මින්පසු සම්පූර්ණ මුදල් ගෙවන්න වේද? සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නව අර්බුදය

ශ්‍රී ලංකාව ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස ලෝක බැංකුව විසින් නව වර්ගීකරණයකට ඇතුළත් කිරීමත් සමඟ, ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන සඳහා එන්නත් මිලදී ගැනීමේදී මෙතෙක් හිමිවූ ඇතැම් සහන අහිමි වන බවට තොරතුරු වාර්තා වේ.

මීට පෙර ශ්‍රී ලංකාව ඇතැම් එන්නත් සහනදායී කොන්දේසි යටතේ ලබාගෙන තිබුණද, මෙම නව වර්ගීකරණයත් සමඟ ඉදිරියේදී අවශ්‍ය සියලුම එන්නත් සඳහා සම්පූර්ණ මුදල ගෙවීමට රජයට සිදුවනු ඇත.

කෙසේ වෙතත්, මෙම තත්ත්වය හමුවේ ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහනට කිසිදු බලපෑමක් ඇති වීමට ඉඩ නොතබන බවත්, අවශ්‍ය එන්නත් නියමිත වේලාවට මිලදී ගැනීමට කටයුතු කරන බවත් සෞඛ්‍ය බලධාරීහු අවධාරණය කරති. ඒ අනුව UNICEF (එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල) හරහා සියලු එන්නත් සම්පූර්ණ මුදල් ගෙවා මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගනිමින් සිටින අතර, ඊට අදාළ මෙහෙයුම් ගිවිසුම ඉදිරියේදී අත්සන් කිරීමට නියමිතය. මෙම වෙනස හේතුවෙන් මතුවන අතිරේක වියදම මේ වන විට ගණනය කරමින් පවතින බවද පැවසේ.

ලෝක බැංකු වර්ගීකරණයේ වෙනස

ලෝක බැංකු සමූහය විසින් නිකුත් කළ නවතම රටවල ආදායම් වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාව පහළ මධ්‍යම ආදායම් කාණ්ඩයේ සිට ඉහළ මධ්‍යම ආදායම් කාණ්ඩය දක්වා උසස් කර ඇත. මෙම කාණ්ඩයට ශ්‍රී ලංකාවට අමතරව ජෝර්දානය, මයික්‍රොනීසියාව, පිලිපීනය සහ වියට්නාමය යන රටවල් ද ඇතුළත් වී තිබේ.

ඖෂධ හිඟයට UNDP වෙතින් ජාත්‍යන්තර යාන්ත්‍රණයක්

මේ අතර, පවතින ඖෂධ හිඟය සැලකිල්ලට ගනිමින් ඖෂධ මිලදී ගැනීම සඳහා ද ජාත්‍යන්තර ප්‍රසම්පාදන යාන්ත්‍රණයක් භාවිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර ඇත.
ඒ අනුව UNDP හි (එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන) ප්‍රසම්පාදන කාර්යාලය මගින් අවම තත්ත්ව සහතික අවශ්‍යතා සපුරාලන ඖෂධ නිෂ්පාදකයන් සහ සැපයුම්කරුවන් සමඟ දිගුකාලීන ගිවිසුම් ස්ථාපිත කිරීමට නියමිතය.

එම ගිවිසුම් හරහා පහත ඖෂධ වර්ග ගෙන්වීමට අපේක්ෂිතය:

  • HIV, ක්ෂය රෝගය සහ මැලේරියා සඳහා වන ප්‍රතිවෛරස ඖෂධ
  • ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග සහ හෙපටයිටිස් B, C සඳහා වන ඖෂධ
  • දියවැඩියාව, අධි රුධිර පීඩනය සහ පිළිකා ඇතුළු බෝ නොවන රෝග සඳහා අවශ්‍ය ඖෂධ

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තවලට අනුව මේ වන විට රටට අවශ්‍ය ඖෂධවලින් 80%ක් පමණ සුරක්ෂිත කරගෙන තිබුණ ද, ඇතැම් පිළිකා ප්‍රතිකාර සඳහා භාවිත කරන ඖෂධවල හිඟයක් තවදුරටත් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් අනාවරණය කරයි.

මූලාශ්‍රය – ඩේලි මිරර්

Latest Posts

spot_imgspot_img