අමෙරිකානු ඩොලර් බිලියනයක පමණ මුදලක් විදෙස් රටවලට නීතිවිරෝධී ක්‍රමයට රටින් පිටකිරීමේ සිදුවීමට අත්අඩංගුවටගෙන රිමාන්ඩ්ගත කළ පෞද්ගලික බැංකු කළමනාකරුවන් සිවුදෙනා අවස්ථා 10,151ක කදී ගිණුම් 89ක් මගින් මුදල් නීති විරෝධීව ප්‍රේශණය කර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කියයි.
ඒ මහතා අද (18) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාවේදී මේ බව අනාවරණය කළේය.
මෙම වසරේ ජනවාරි මාසයේදී රේගු අතිරේක අධ්යක්ෂ ජනරාල්වරයා විසින් මූල්‍ය අපරාධ විමර්ශන කාර්යාංශය වෙත සිදුකරන ලද පැමිණිල්ලක් මත විමර්ශනය ආරම්භ වූ බව පැවසූ අමාත්‍යවරයා ඒ අනුව පසුගිය ජූනි 19 වැනි දින මීගමුව ප්‍රදේශයේදී එක් අයෙකු අත්අඩංගුවට ගත් බවත් සඳහන් කළේය.
එහිදී සිදුකරන ලද වැඩිදුර විමර්ශනවල ප්‍රතිඵලයක් මත මෙම බැංකු කළමනාකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගත් බවත් සැකකරුවන් සම්බන්ධව මුදල් විශුද්ධීකරණ පනත යටතේ මෙන්ම දණ්ඩ නීති සංග්‍රහය යටතේ අධිකරණයට කරුණු වාර්තා කරමින් පවතින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
එහිදී මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා,
“2026 ජනවාරි මාසයේදී රේගු අතිරේක අධ්යක්ෂ ජනරාල්වරයා විසින් FCID එකට කරන ලද පැමිණිල්ලක් මත පදනම්ව විමර්ශන කටයුතු ආරම්භ කළා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළාම ගිණුම් 210ක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගන්න අධිකරණ අවසරය ලැබිලා තියෙනවා. ඒ සිදුකර ලද විමර්ශනයේදී 2026-06-19 වන දින මීගමුවෙන් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්තා ඔහුට දින 7ක රඳවා ගැනීම් නියෝග ලබා දීලා දැන් රක්ෂිත බන්ධනාගාර ගත කරලා තියෙන්නේ. ගිණුම් 89ක් මගින් මුදල් ප්‍රේශණය කරලා තියෙනවා අවස්ථා 10,151කදී. රටින් පිටකර තිබෙන සමස්ත මුදලේ වටිනාකම රුපියල් බිලියන 74ක්. එම විමර්ශනවල ප්‍රතිඵලයක් හැටියට තමයි මේ පෞද්ගලික බැංකු 4ක කළමනාකරුවන් ඇතුළු විධායක නිලධාරීන් 4 දෙනෙක් අත්අඩංගුවට අරගෙන පරීක්ෂණ දියත් කරමින් පවතින්නේ. මේ අයට මුදල් විශුද්ධීකරණ පනත යටතේ සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ අධිකරණයට කරුණු වාර්තා කරමින් පවතිනවා ටෙලිග්රැෆික් ට්‍රාන්සර් යටතේ මෙය සිදුකරලා තිබෙන්නේ.”
මෙසේ රිමාන්ඩ්භාරයට පත්කර ඇත්තේ යූනියන් බැංකුවේ කොටුව ප්‍රධාන වීදිය ශාඛාවේ කළමනාකාරු ධර්මලිංගම් ප්‍රසාද්, සෙලාන් බැංකුවේ පරණ යොන්වීදිය ශාඛාවේ කළමනාකරු ශිරාන් මාරියෝ ප්‍රනාන්දු, නේෂන් ට්‍රස්ට් බැංකුවේ පරණ යොන්වීදිය ශාඛාවේ කළමනාකරු අමිල උදාර ලියනමාන්න, හා සම්පත් බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ උමේෂ් රන්දික ප්‍රනාන්දු යන සිවුදෙනාය.
මීට අමතරව තවත් කළමනාකාරවරියක් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව කටයුතු කරමින් සිටින බවද වාර්තා වේ.
Source: SrilankaMirror



