අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 සහ 65 දක්වා ඉහළ නැංවීම සඳහා කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණයට එරෙහිව මෙරට ප්‍රධාන මහානායක හිමිවරුන් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කරමින් දැඩි විරෝධය පළ කර ඇත.


2026 ජූලි මස 31 දිනැතිව යොමු කර ඇති අතර ස්වාමෝපාලි මහානායකයේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක, ස්වාමෝපාලි මහානායකයේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක වරකගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන, ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ මහානායක කරගොඩඋයන්ගොඩ මෛත්‍රී මූර්ති අභිධාන මහානායක හිමි සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමලාභිධාන යන හිමිවරුන්ගේ අත්සන් සහිතව අදාල ලිපිය ජනාධිපතිවරයාට යොමු කර ඇත.
අදාල ලිපියේ මහානායක හිමිවරුන් කරුණු දක්වමින් පෙන්වා දී ඇත්තේ අධිකරණ පද්ධතියේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම සඳහා මේ අවස්ථාවේ ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කිරීම සුදුසු නොවන බවත්, එය අධිකරණයේ ස්වාධීනත්වය හා යුක්තිය පසිඳලීමේ සමස්ත ක්‍රියාවලිය පිළිබඳ ප්‍රශ්නාර්ථයක් මතු කරන්නක් බවත් උන්වහන්සේලා පෙන්වා දී ඇත.
තවද අධිකරණයෙන් යුක්තිය ඉටු වීම සම්බන්ධයෙන් මහජන විශ්වාසය රැඳී ඇත්තේ එහි සැබෑ ස්වාධීනත්වය සැකයකින් තොරව විද්‍යාමාන වීම මත වන බැවින් මෙම යෝජිත සංශෝධනය මඟින් අධිකරණ පද්ධතියේ සුරක්ෂිතභාවය පිළිබඳ බරපතල ගැටලු මතුවිය හැකි බවට අනතුරු අඟවා ඇත.
විනිශ්චයකාරවරුන්ගේ සංගමය, නීති විශාරදයින්, සිවිල් සංවිධාන මෙන්ම ශ්‍රී ලංකා නීතිඥ සංගමය ද මෙම යෝජිත සංශෝධනයේ ඍණාත්මක බලපෑම් සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීම් කරමින් විරෝධය පළ කර ඇති බවත් නොපැහැදිලි නීති පැනවීමෙන් සමාජ නොසන්සුන්තා සහ රාජ්‍ය ස්ථාවරත්වයට බලපෑම් ඇතිවන හෙයින් මහජන විශ්වාසය තහවුරු වන ආකාරයෙන් කටයුතු කිරීම රාජ්‍ය නායකයාගේ වගකීමක් බව උන්වහන්සේලා අවධාරණය කර ඇත.
අධිකරණ කටයුතු කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා අදාළ සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කොට පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටින මහානායක හිමිවරුන් අධිකරණ ස්වාධීනත්වයට ප්‍රශ්නාර්ථයක් විය හැකි මෙම ව්‍යවස්ථා සංශෝධනය මේ අවස්ථාවේ ක්‍රියාත්මක කිරීමෙන් වැළකී සිටින ලෙස ජනාධිපතිවරයාගෙන් හිතාධ්‍යාශයෙන් යුතුව ඉල්ලා ඇත.
අදාල ලිපිය පහතින්
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා, ජනාධිපති ලේකම් කාර්යාලය, ගාලු මුවදොර, කොළඹ 01.
ගරු ජනාධිපතිතුමනි,
අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම සඳහා කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය පිළිබඳවයි
ශ්‍රී ලංකාවේ යුක්තිය පසිඳලීමේ ප්‍රධාන යාන්ත්‍රණය වන අධිකරණ පද්ධතියේ ගරු විනිශ්චයකාරතුමන්ලාගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කිරීමට රජය කටයුතු කරමින් සිටින බවට අප වෙත කරුණු වාර්තා වී ඇත.
වර්තමානය වන විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව අභියාචනාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරතුමන්ලාගේ විශ්‍රාම දිව්‍යයට එළඹීමේ වයස පිළිවෙළින් අවුරුදු 63 හා 65 ලෙස දක්වා ඇත. එම වයස් සීමාව ඉහළ නැංවීමට රජය මේ අවස්ථාවේ කටයුතු කිරීම සුදුසු නොවන බව අපගේ විශ්වාසයයි. එය අධිකරණයේ ස්වාධීනත්වය හා යුක්තිය පසිඳලීමේ සමස්ත ක්‍රියාවලිය පිළිබඳ ප්‍රශ්නාර්ථයක් ඇති කරවීමත් එය විය හැකි බව අධාවර්ණය කරනු කැමැත්තෙමු. අධිකරණයෙන් යුක්තිය පසිඳලීම සම්බන්ධයෙන් මහජන විශ්වාසය අධිකරණයේ සැබෑ ස්වාධීනත්වය මත පමණක් නොව එම ස්වාධීනත්වය සැකයකින් තොරව විද්‍යාමාන වීම මත රඳා පවතින බව පොදු පිළිගැනීමයි.
එහෙයින් රජය විසින් සිදු කිරීමට අපේක්ෂිත ව්‍යවස්ථා සංශෝධනය මෙරට අධිකරණ පද්ධතියේ සුරක්ෂාව සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්නාර්ථයක් ඇති කරීමට හේතු වන බවත් මෙම පූර්වාදර්ශය අනාගතයේ දී අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය සහමුලින්ම විනාශ කිරීමට හේතු විය හැකි බවත් මේ සම්බන්ධයෙන් විරෝධතාව ප්‍රකාශ කරමින් අධිකරණ විනිශ්චයකාරතුමන්ලාගේ සංගමය, නීති විගාරදයින් මෙන්ම සිවිල් සංවිධාන ද පෙන්වා දී ඇති අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් සම්මත කරන ලද යෝජනා මාලාව තුළින් ද මෙම යෝජිත සංශෝධනයේ ඍණාත්මක බලපෑම සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක් සිදුකර ඇත.
රටේ තිරසර සංවර්ධනය හා සමාජ සුරක්ෂාව අරමුණු කරගනිමින් කටයුතු කරන රජයක් සපත් අපරිහානීය ධර්ම මත ගොඩනැගිය යුතු බව අපගේ පිළිගැනීමයි. නොපැහැදිලි නීති පැනවීම තුළින් සමාජ නොසන්සුන්තාවක් හා රාජ්‍ය ස්ථාවරත්වය පිළිබඳ ඍණාත්මක බලපෑමක් සිදු වන්නේ නම් එවැනි ක්‍රියා කලාපයන්ගෙන් ඈත්ව මහජන විශ්වාසය රාජ්‍ය කෙරෙහි තහවුරු කරන ආකාරයෙන් කටයුතු කිරීම රාජ්‍ය නායකයාගේ වගකීම බව අවධාරණය කරනු කැමැත්තෙමු.
විශේෂයෙන් ම මේ වන විට අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් මහජන ප්‍රසාදයක් පවතින පසුබිමක එවැනි සංශෝධනයක් ගෙන ඒම රජය පිළිබඳ ඍණාත්මක අදහස් ප්‍රවර්ධනය
කිරීමට ද හේතු විය හැකි අතර ම ගරු විනිශ්චයකාරතුමන්ලාගේ ස්වාධීනත්වය පිළිබඳ ද ප්‍රශ්නාර්ථයක් ඇති කර වීමට හේතු විය හැකි බව පෙන්වා දෙනු කැමැත්තෙමු.
එහෙයින් අධිකරණ කටයුතු කාර්යක්ෂමව පවත්වාගෙන යාමට අවශ්‍ය පුළුල් වැඩ පිළිවෙළක් අදාළ සියලු අංග සමඟ සාකච්ඡා කොට ක්‍රියාත්මක කිරීම යෝග්‍ය බව ප්‍රකාශ කරන අතර ම අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් ප්‍රශ්නාර්ථයක් නැංවිය හැකි ව්‍යවස්ථා සංශෝධනය මෙම අවස්ථාවේ සිදු කිරීමෙන් වැළැක්ී සිටීම සුදුසු බව ගරු ජනාධිපතිතුමන් වෙත හිතාධ්‍යාශයෙන් යුතුව සිහිපත් කරනු කැමැත්තෙමු.
ඒ වගත් මෙසේ ම,
- අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායකස්ථාන ස්වාමෝපාලි මහානායකයේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ මහානායක ස්ථවිර, මල්වතු මහාවිහාරය, මහනුවර.
- අතිපූජ්‍ය වරකගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන මහානාභාරවංශික ස්වාමෝපාලි මහානායකයේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක ස්ථවිර, අස්ගිරි මහාවිහාරය, මහනුවර.
- අතිපූජ්‍ය කරගොඩඋයන්ගොඩ මෛත්‍රී මූර්ති අභිධාන ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරිතර මහානායක ස්ථවිර, ශ්‍රී ධම්මානන්ද විද්‍යායතන පිරිවෙන, මිරිස්වත්ත, බලංගොඩ.
- අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමලාභිධාන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක ස්ථවිර, මිණිපේව විද්‍යාවාස මස පිරිවෙන, මිරිගම.
Source: anidda.lk



