Latest Posts

රාජ්‍ය විකාශන දේපළවලින් පෞද්ගලික නාලිකාවක් හදාගත්තේ කොහොමද?

කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් (CSN) නාලිකාවේ නැගීම සහ බැසීම කියන්නේ, ලංකාවේ රාජ්‍ය විකාශන පද්ධතිය පෞද්ගලික ව්‍යාපාරික ඕනෑඑපාකම් වෙනුවෙන් පාවිච්චි කරපු හැටි ගැන හොඳ උදාහරණයක්.

පරීක්ෂණ වාර්තාවල සඳහන් වෙන විදිහට, පස්සේ කාලෙක ‘මාතා TV’ නමින් නැවත පටන් ගත්තු මේ CSN නාලිකාව හදන්න ජාතික රූපවාහිනී සංස්ථාවේ (SLRC) සම්පත් ලොකු ටොන් එකකින් පාවිච්චි කරලා තියෙනවා. රූපවාහිනියේ හිටපු දක්ෂ කාර්ය මණ්ඩලය, නිෂ්පාදන උපකරණ, සංරක්ෂිත වීඩියෝ (archives) විතරක් නෙවෙයි, රූපවාහිනියට ලැබෙන්න තිබුණු ව්‍යාපාරික අවස්ථා පවා මේ පෞද්ගලික නාලිකාවට හරවා යවපු හැටි ගැන පරීක්ෂණ සිද්ධ වුණා.

මේකේ ප්‍රධානම චෝදනාවක් වුණේ රූපවාහිනියේ හිටපු සේවකයින් CSN එකට ගත්ත එක. රූපවාහිනියේ ක්‍රීඩා අංශයේ හිටපු කැමරා ශිල්පීන්, සංස්කාරකවරුන් (editors), අධ්‍යක්ෂවරුන් ඇතුළු තාක්ෂණික ශිල්පීන් රැසක් CSN එකට අරන් තිබුණා. මේ විදිහට අත්දැකීම් තියෙන පිරිස පෞද්ගලික නාලිකාවට ලබාදෙන්න රූපවාහිනියේ හිටපු ඉහළ නිලධාරීන් සහ ක්‍රීඩා පරිපාලකයින් මැදිහත් වුණු බව කියවෙනවා.

ඒ වගේම, රූපවාහිනිය සතු නිෂ්පාදන උපකරණ CSN එකේ තරග විකාශය කරන්න පාවිච්චි කරපු හැටි ගැනත් පරීක්ෂණ කෙරුණා. රූපවාහිනියට අයිති පිටත විකාශන රථ (OB vans), කැමරා සහ එඩිටින් පද්ධති මේ විදිහට CSN එකේ වැඩවලට යොදාගෙන තිබුණා.

අනෙක් ප්‍රශ්නය වුණේ පැරණි වීඩියෝ දර්ශන (archives) පාවිච්චි කිරීම. CSN එක පැත්තෙන් කිව්වේ ඒ දර්ශනවලට මුදල් ගෙව්වා කියලා වුණාට, අවුරුදු ගාණක් තිස්සේ මහජන මුදලින් රැස් කරපු ඒ වටිනා ක්‍රීඩා වීඩියෝ ලබාදුන්න කොන්දේසි ගැන විගණකවරුන් ප්‍රශ්න කළා.

හැබැයි ලොකුම අර්බුදය වුණේ ක්‍රිකට් විකාශන අයිතිය සම්බන්ධයෙන්.

ලංකාවේ ජාත්‍යන්තර ක්‍රිකට් තරග විකාශය කිරීමේ බලය දිගටම තිබුණේ ජාතික රූපවාහිනියට. ඒත් 2011-2012 කාලයේදී රූපවාහිනියට ඒ සඳහා ලංසු තබන්න (bid කරන්න) ඉඩ නොදී රාජ්‍ය නිලධාරීන් යම් බලපෑමක් කරපු බව කියවෙනවා. ඒ හේතුවෙන් පටන් අරන් මාස 15ක් වගේ කෙටි කාලයක් වුණු CSN එකට කිසිම තරගයකින් තොරව අවුරුදු 3ක ක්‍රිකට් විකාශන අයිතිය නිකන්ම ලැබුණා.

මේ චෝදනා ඇත්ත නම්, ඒක නිකම්ම නිකම් ව්‍යාපාරික පාඩුවක් විතරක් නෙවෙයි. රාජ්‍ය ආයතනයක තීරණ ගන්න අයට පුළුවන් වුණා ඒ ආයතනයේ තිබුණු වටිනාම ආදායම් මාර්ගයක් පෞද්ගලික නාලිකාවකට පවරා දෙන්න.

අන්තිමේදී මේ ප්‍රශ්නය නිකම්ම පාලන මට්ටමේ ගැටලුවකට විතරක් සීමා වුණේ නැහැ. විකාශන නීති සහ කොන්දේසි බරපතල ලෙස උල්ලංඝනය කිරීම නිසා ජනමාධ්‍ය අමාත්‍යාංශය CSN නාලිකාවේ විකාශන බලපත්‍රය තහනම් කළා.

ඊට අමතරව, නාලිකාව පටන් ගන්න යොදාගත් රුපියල් මිලියන 59කට අධික සැකසහිත මුදල් සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ ඇතුළු පිරිසකට එරෙහිව කොළඹ මහාධිකරණයේ නඩුවක් ද විභාග වුණා.

ඒ නිසා CSN කතාවෙන් ප්‍රශ්න දෙකක් මතුවෙනවා: රාජ්‍ය ආයතනයක සම්පත්වලින් පෞද්ගලික නාලිකාවක් හැදුවට පස්සේ ඒ සම්පත්වලට මොකද වුණේ? ඒ වගේම ඒ නාලිකාවට අරමුදල් ලැබුණේ කොහෙන්ද?

මේ ප්‍රශ්න එක නාලිකාවකට විතරක් අදාළ දෙයක් නෙවෙයි. රාජ්‍ය අංශයේ වගවීම, විකාශන නියාමනය සහ රාජ්‍ය දේපළ දේශපාලන හෝ ව්‍යාපාරික බලපෑම්වලින් ආරක්ෂා කරගන්නේ කොහොමද කියන කාරණා ගැන මේකෙන් ලොකු පාඩමක් කියලා දෙනවා.

Latest Posts

spot_imgspot_img