ගරු විපක්ෂ නායකතුමනි,

දේශපාලන පිටියේ සිදුවන නොයෙකුත් විකාරරූපී සිදුවීම් සහ සමාජයේ නැගෙන දැඩි විවේචන අස්සේ, මම ඔබතුමාට මෙසේ කෙලින්ම අමතා ලිපියක් ලියන්න තීරණය කළේ හදවතේ ඇතිවූ බලවත් කලකිරීම සහ ලැජ්ජාව නිසාවෙනි. මගේ තාත්තාට එදා ඔබතුමාගේ අනුරූප නායකත්වයක් දුන් තාත්තා (රණසිංහ ප්‍රේමදාස මහතා) රැකියාවක් ලබාදී කළ උපකාරය මතක් කරමින්, පසුගිය මැතිවරණයේදී මමත් ඔබතුමාට ඡන්දය දුන් තරුණියකි. නමුත් අද ඔබතුමා සහ ඔබ වටා සිටින පිරිස හැසිරෙන ආකාරය දෙස බලද්දී, ඒ දුන් ඡන්දය ගැන තරුණ පරපුරක් විදිහට අපට තියෙන්නේ ලොකු ලැජ්ජාවක්.
ඊයේ මගේ විශ්වවිද්‍යාලයේ යහළුවන් හමු වූ වෙලාවේ ඔවුන් ඔබතුමාගේ අලුත්ම ක්‍රියාකලාපය ගැන දැඩි ලෙස උපහාසයෙන් කතා කළා. “ජාත්‍යන්තර කොටි (Tigers) දිනය” සමරන්න ඔබතුමා දක්වපු උනන්දුව ගැන ඔවුන් හිනාවුණා. අපි කියන්නේ නැහැ කොටි දිනය සමරන්න එපා කියලා. නමුත් මුළු රටම ආර්ථික, ව්‍යවස්ථාමය සහ අධිකරණමය වශයෙන් දැවැන්ත අර්බුදයක හිරවෙලා තියෙද්දී, රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දී, මෙවැනි ක්‍රියා කෘතිම (Artificial) සහ කාලෝචිත නොවන බව ඕනෑම කෙනෙකුට තේරෙනවා. මගේ යහළුවෙක් උපහාසයට ඇහුවේ “පාර්ලිමේන්තුවේ ඉන්න සත්තු වගේ හැසිරෙන තමන්ගේ වටේ ඉන්න බූරුවෝ ටික වෙනුවෙන් එතුමා කවදද ‘බූරු දිනයක්’ සමරන්නේ?” කියලා. මැතිවරණයේදී ඔබතුමා වෙනුවෙන් පෙනී සිටි මට ඒ වෙලාවේ මුහුණ දෙන්න වුණේ දැඩි අපහසුතාවයකටයි. ඔබතුමා වැඩිපුර යාල පැත්තේ යන නිසා සතුන් කෙරෙහි ඇතිවුණු ආදරයක්ද කියලත් ඔවුන් ඇහුවා.
කරුණාකර ඔය වටේ ඉන්න අයගෙන් පරිස්සම් වෙන්න!
ඔබතුමා වටේ ඉන්න ලකී (ලක්ෂ්මන් ෆොන්සේකා) වගේ අයව ටිකක් පැත්තකට කරලා, රට ගැන, නීතිය ගැන ඇත්තටම දැන උගත් මොළයක් තියෙන හොඳ උපදේශකයෙක් තියාගන්න බැරි ඇයි? ආරංචි විදිහට ඔය වටේ ඉන්න සමහර අය රෑට රෑට ආණ්ඩුවේ විජිත හේරත්ලා එක්ක එකතු වෙලා උන්ගේ Project එක කරමින් ඔබතුමාව නොමඟ යවනවා, රට ඉදිරියේ පච කරනවා.
ඊටත් වඩා පරිස්සම් වෙන්න, වෙන අය ලියලා දෙන දීර්ඝ “හෑලි” සහ Script එකපාරටම කියවන්න යන්න එපා. ඔය දේවල් පිටුපස රනිල් වික්‍රමසිංහගේ යම් වැඩපිළිවෙළක් තියෙනවාද දන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ වයසට ගියත්, ඔබතුමාට දේශපාලනිකව “ෂොට් එක” දෙන්න බලන් ඉන්න බව රහසක් නෙවෙයි. මේ දවස්වල ඔබතුමාගේ ඇතැම් පිරිස් රෑට රෑට මල් පාරට රිංගන බවටත් තොරතුරු වාර්තා වෙනවා.
ඔබේ කථනය සහ හැසිරීම පාලනය කරගන්න!
ඔබතුමා කොහෙගියත් ටිකක් අඩුවෙන් කතා කරන්න. ඔබතුමා හරිම කලබලයි. පාර්ලිමේන්තුවේදී උදේ පාන්දරම “Standing Orders” (ස්ථාවර නියෝග) ටික කියාගෙන නැගිටින එක චුට්ටක් අඩු කරගත්තොත් හොඳ නැද්ද? කතාව ටිකක් අඩු කරලා, වඩාත් පරිණත ලෙස හැසිරුණොත් විතරයි ඔබතුමාගේ තාත්තා මහන්සියෙන් හදලා තියලා ගියපු ඒ ඉතිරි ඡන්ද ටික හරි ආරක්ෂා කරගන්න පුළුවන් වෙන්නේ.
කෙසේ වෙතත්, ඔබතුමා ගත් එක් හොඳ තීරණයක් මම දකිනවා. එනම්, පසුගිය කාලයේ පවුලත් එක්ක එකතු වී දේශපාලනය කරන්න ගිහින් සිදුවූ දැවැන්ත හානිය (Damage) තේරුම්ගෙන, දැන් පවුල පැත්තකින් තියලා දරුවාගේ වැඩ කටයුතු කරගෙන ඉන්න ඉඩ හැරීම ඉතාම අගනා තීරණයක්.
අපේ අන්තිම ඉල්ලීමයි මේ…
විපක්ෂ නායකතුමනි, වටේ සිටින අදූරදර්ශී අයගේ පටු උපදෙස්වලට කොටු නොවී, රටේ නීතියේ ආධිපත්‍යය, ව්‍යවස්ථාමය ගැටලු, අධිකරණයේ ස්වාධීනත්වය සහ ජනතාව මුහුණදෙන සැබෑ ආර්ථික පීඩනය ගැන අවධානය යොමු කරන්න.
ඔබතුමාගේ නම ඉතිහාසයේ ලියැවෙන්න ඕනේ “තමන්ගේ පියාගේ නාමය ආරක්ෂා කරමින් රටට සැබෑ විකල්ප නායකත්වයක් දුන් නායකයෙක්” විදිහට මිසක්, “වටේ සිටි අයගේ ලණු කාලා දේශපාලනය අනාථ කරගත් තවත් එක් නායකයෙක්” විදිහට නෙවෙයි!
මේ රටට ආදරය කරන, තවමත් වෙනසක් බලාපොරොත්තු වන තරුණ පරපුරේ හඬට කරුණාකර කන් දෙන්න!
– ඔබතුමාට ඡන්දය දුන්, රටේ අනාගතය ගැන තවමත් කනගාටු වන තරුණියක්.



