Latest Posts

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සමගි නීතිඥ සංගමයෙන් දැඩි විරෝධයක්!

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ ජ්‍යෙෂ්ඨ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම ගැනීමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා ආණ්ඩුව විසින් ඉදිරිපත් කිරීමට සූදානම් වන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සමගි නීතිඥ සංගමය (Samagi Lawyers Federation) සිය දැඩි විරෝධය පළ කර සිටියි.

2026 ජූලි 27 වන දිනැතිව එම සංගමයේ ප්‍රධාන ලේකම් සුදත් වික්‍රමරත්න සහ ජාතික සංවිධායක කමල් විජේසිරි යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද විශේෂ මාධ්‍ය නිවේදනයක් මගින් මේ බව අවධාරණය කර ඇත.

1. ජනවරමට පටහැණි අත්තනෝමතික ක්‍රියාමාර්ගයක්

2024 ජනාධිපතිවරණයේදී මෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජන බලවේගය (මාලිමාව) ජනතාව හමුවේ තැබූ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් පොරොන්දු වූයේ, මහජන සංවාදයකින් හා ජනමත විචාරණයකින් සම්මත කරගන්නා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන බවයි. එහිදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සහ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම ප්‍රධාන අරමුණ විය.

එහෙත්, එම ජනවරමට හා ප්‍රතිපත්තිවලට සම්පූර්ණයෙන්ම පටහැණිව යමින්, ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනයක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව සමගි නීතිඥ සංගමය පෙන්වා දෙයි.

2. “නඩු කටයුතු ඉක්මන් කිරීමේ” අසත්‍ය තර්කය

නඩු කටයුතු ඉක්මන් කිරීම සඳහා මෙම සංශෝධනය ගෙන එන බවට ආණ්ඩුව පවසන තර්කය පදනම් විරහිත හා අසත්‍ය එකක් බව පෙන්වා දෙන එම සංගමය, මෙහි සැබෑ අරමුණ බලයේ රැඳී සිටීමේ රහසිගත න්‍යායපත්‍රය ඉටුකර ගැනීම බවට චෝදනා කරයි.

එසේම, වත්මන් ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් 4 දෙනෙකුගේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් 4 දෙනෙකුගේ පුරප්පාඩු සඳහා පත්කිරීම් සිදු නොකර තබා ගනිමින් අධිකරණ පද්ධතිය අඩපණ කර ඇති බවද නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

3. අධිකරණ ස්වාධීනත්වයට සහ නීතියේ ආධිපත්‍යයට දැඩි තර්ජනයක්

ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL), දිවයිනේ ප්‍රාදේශීය නීතිඥ සංගම්, අධිකරණ නිලධාරීන්ගේ සංගමය ඇතුළු නීති ක්ෂේත්‍රයේ කිසිදු පාර්ශවයක් මෙවැනි ව්‍යවස්ථා සංශෝධනයක් ඉල්ලා නොමැත. මෙය ආණ්ඩුව සිය බලය තහවුරු කරගැනීම සඳහා අධිකරණ ස්වාධීනත්වයට සහ නීතියේ ආධිපත්‍යයට එල්ල කරන ලද බරපතල බලපෑමක් බවට නීතිඥවරු චෝදනා කරති.

4. ජූලි 29 වනදා විශේෂ මහා සභාවට පූර්ණ සහය

අධිකරණයේ ස්වාධීනත්වය සහ නීතියේ ආධිපත්‍යය සුරැකීම වෙනුවෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) විසින් 2026 ජූලි 29 වන දින (බුධදා) පැවැත්වීමට නියමිත විශේෂ මහා සභා රැස්වීමට (Special General Meeting) සමගි නීතිඥ සංගමයේ පූර්ණ ආශීර්වාදය සහ සහයෝගය පළකර සිටියි.

මෙම තීරණාත්මක මොහොතේ එකමුතුව නැගී සිටිමින් අධිකරණ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටින ලෙස සමස්ත නීතිඥ ප්‍රජාවගෙන් ඔවුහු ඉල්ලා සිටිති.

Latest Posts

spot_imgspot_img