Latest Posts

විත්තියේ තාක්ෂණික විරෝධතා අධිකරණය හමුවේ බිඳ වැටෙයි: ‘House of Fashion’ හිමිකරු ප්‍රීතිගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ!

[විශේෂ ගවේෂණාත්මක වාර්තාව – HariDeshaya.lk]

රුපියල් මිලියනයකට අධික වටිනාකමකින් යුත් භාණ්ඩ ආනයනය කිරීමේ මුවාවෙන් රේගු ආඥා පනත උල්ලංඝනය කළ බවට චෝදනා ලබා සිටින ‘හවුස් ඔෆ් ෆැෂන්’ (House of Fashion) ප්‍රසිද්ධ ඇඟලුම් ආයතනයේ හිමිකරුවෙකු වන ජයවර්ධන මුදලිගේ ප්‍රියලාල් බන්දුල හෙවත් ප්‍රීති ජයවර්ධන සැකකරුගේ ඇප ඉල්ලීම කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ඕෂද මිගාර මහාරච්චි මහතා විසින් ඊයේ (27) ප්‍රතික්ෂේප කරන ලදී. ඒ අනුව සැකකරු ලබන අගෝස්තු මස 06 වැනිදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

විත්තියේ තාක්ෂණික විරෝධතා අධිකරණය හමුවේ බිඳ වැටෙයි

නඩු විභාගය අතරතුර සැකකාර විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් පෙන්වා දුන්නේ මෙම පැමිණිල්ල ඉදිරියට පවත්වාගෙන යාමට නීතිමය පදනමක් නොමැති බවත්, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 115 වගන්තිය යටතේ සැකකරු නිදහස් කරන ලෙසත්ය.

කෙසේ වෙතත්, එම විරෝධතාවල කිසිදු පදනමක් නොමැති බව ප්‍රකාශ කළ මහෙස්ත්‍රාත්වරයා, පැමිණිල්ල නිෂ්ප්‍රභ කිරීමටත්, සැකකරු මුදා හැරීමටත් කළ ඉල්ලීම් සියල්ල තදින්ම ප්‍රතික්ෂේප කළේය.

“මිලියන 500ක රේගු වරදක් – චීනයට මුදල් යැවුවත් භාණ්ඩ ලංකාවට ඇවිත් නෑ” – නීතිපති දෙපාර්තමේන්තුව

ඊයේ නඩුව කැඳවූ අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් ශනිල් ගුණරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම දැවැන්ත ජාවාරමේ තවත් තොරතුරු රැසක් හෙළිදරව් කළේය:

  • තොරතුරු වසන් කිරීම: “ස්වාමීනි, මුලින්ම ඉදිරිපත් කළ B වාර්තාව රේගු විමර්ශනවලට සහාය නොදීම ගැන වුවත්, ඉදිරි පරීක්ෂණවලදී රේගු පනතේ 09 වැනි වගන්තිය යටතේ රේගුවට තොරතුරු වසන් කිරීම සහ ලේඛන හැංගීම ඇතුළු වැරදි රැසක් කර ඇති බව තහවුරු වී තිබෙනවා.”
  • මිලියන 500ක රේගු වරද: “සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු කරන ලද පරීක්ෂණවලදී, රුපියල් මිලියන 500කට වැඩි රේගු වරදක් සිදුව ඇති බවට කරුණු හෙළි වුණා.”
  • චීන සමාගම සහ නාමික ආයතන 30ක්: “සැකකරුගේ ප්‍රධාන සැපයුම්කරු වන චීන සමාගම වෙත (Guangzhou Sim Impex) මෙම මුදල් යොමු කර තිබෙනවා. මෙම ‘හවුස් ඔෆ් ෆැෂන්’ ආයතනය ඇතුළු මෙරට ආයතන 30ක් මෙලෙස එකම චීන සමාගමට මුදල් යවා ඇති නමුත්, එලෙස යවන ලද කිසිදු මුදලකට සරිලන භාණ්ඩ ලංකාවට පැමිණ නැහැ. මේ පිළිබඳව තවදුරටත් පුළුල් විමර්ශන පැවැත්වෙන බැවින් සැකකරුට ඇප ලබානොදෙන ලෙස ඉල්ලා සිටිනවා.”

ඇප ප්‍රතික්ෂේප වීමට හේතුව

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේ, සැකකරු විසින් සිදුකර ඇති බවට චෝදනා එල්ල වන රේගු වරද රුපියල් මිලියනයට (ලක්ෂ 10ට) වඩා වැඩි වන බැවින්, එවැනි වරදකට ඇප ලබාදීමට මහෙස්ත්‍රාත් අධිකරණයට නීතිමය බලයක් නොමැති බවයි.

ඒ අනුව ඇප ඉල්ලීම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළ මහෙස්ත්‍රාත්වරයා, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සහ විමර්ශන වාර්තා ලබන අගෝස්තු 06 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දෙපාර්ශවයටම නියෝග කළේය.

HariDeshaya නිරීක්ෂණය: ඩොලර්  මිලියන 700ක ජාවාරමේ දැවැන්තම ජාලය

මෙයින් පැහැදිලි වන්නේ මෙම සිදුවීම හුදෙක් එක් ඇඳුම් ආයතනයක රේගු බදු වංචාවක් පමණක් නොවන බවයි. මෙරටින් ඩොලර් පිටරට පටවන ලද ‘ජෙෆ්‍රි මොහොමඩ්’ (A.Y. Investments) නැමැති ප්‍රධාන පහසුකම් සලසන්නා හරහා, ‘හවුස් ඔෆ් ෆැෂන්’ ඇතුළු මෙරට ප්‍රධාන සමාගම් රැසක් එකම චීන සැපයුම්කරුවෙකු වෙත ඩොලර් මිලියන ගණනින් මුදල් යවා ඇති බවට වන සැකය දැඩි වේ.

මෙම මහා පරිමාණ ජාවාරම හරහා ශ්‍රී ලංකාවට අහිමි වූ ඩොලර් සංචිත සහ බදු මුදල් පිළිබඳ ඉදිරි අධිකරණ තීන්දු කෙරෙහි HariDeshaya.lk අපගේ දැඩි අවධානය යොමු වී පවතී.

Latest Posts

spot_imgspot_img