Latest Posts

ලීසිං වාරික ගෙවාගන්න බැරිව පීඩනයෙන්ද? වාහන අත්පත් කරගැනීමට පෙර ලීසිං සමාගම් පිළිපැදිය යුතු අනිවාර්ය නීති මෙන්න…

වත්මන් ආර්ථික තත්ත්වය හමුවේ වාහන ලීසිං වාරික නිසි කලට ගෙවා ගැනීමට නොහැකිව දැඩි පීඩනයකට ලක්ව සිටින පාරිභෝගිකයන් වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසියේ නීති කොට්ඨාසය විසින් විශේෂ දැනුවත් කිරීමක් සිදුකර තිබේ.

වාරික කිහිපයක් පමාවූ සැනින් ලීසිං සමාගම් විසින් හිතුවක්කාර ලෙස වාහන පවරා ගනී යැයි බොහෝ දෙනෙකු තුළ පවතින බිය අනවශ්‍ය එකක් බවත්, ශ්‍රී ලංකාවේ පවතින නීතියට අනුව වාහනයක් අත්පත් කර ගැනීමට පෙර ලීසිං සමාගම් විසින් අනුගමනය කළ යුතු අනිවාර්ය ව්‍යවස්ථාපිත පියවරයන් පවතින බවත් පොලීසිය පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් වන ප්‍රධානතම නීතිමය ප්‍රතිපාදන 2000 අංක 56 දරන Finance Leasing පනතේ 20 සහ 21 වන වගන්තිවල ඇතුළත් වේ. ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් සුවිශේෂී නඩු තීන්දුවක් (S.C. CHC. Appeal No. 19/2022) මඟින් ද මෙම නීතිමය තත්ත්වය තහවුරු කර ඇත.

    1. අනිවාර්ය පූර්ව දැනුම්දීමේ නොතීසිය (21 වන වගන්තිය)

    ලීසිං පනතේ 21 (1) වගන්තියට අනුව, වාරික නොගෙවීම වැනි ගිවිසුම් කඩකිරීමකදී, ගිවිසුම අවලංගු කිරීමට හෝ සම්පූර්ණ හිඟ මුදල් එකවර ඉල්ලා සිටීමට ප්‍රථම ලීසිං සමාගම විසින් ලීසිං ලාභියා වෙත ලියාපදිංචි තැපෑලෙන් විශේෂ නොතීසියක් එවිය යුතුය.

    එම නොතීසියේ පහත කරුණු අනිවාර්යයෙන්ම ඇතුළත් විය යුතුය:

    • පැහැදිලිව වැරැද්ද පෙන්වා දීම: ගිවිසුම කඩවීමට හේතු වූ කරුණු (පැහැර හරින ලද මාසික වාරික පිළිබඳ නිශ්චිත විස්තර) එහි සඳහන් විය යුතුය.
    • කාලය ලබා දීම: එම හිඟ මුදල් ගෙවා වැරැද්ද සකස් කර ගැනීමට, නොතීසිය ලැබුණු දින සිට අවම වශයෙන් දින 7 ක කාලයක් ලබා දිය යුතුය.

    2. වාහනය අත්පත් කරගැනීම සහ ගිවිසුම අවසන් කිරීම (20 වන වගන්තිය)

    ලීසිං පනතේ 20 වන වගන්තිය ක්‍රියාත්මක වන්නේ ඉහත 21 වන වගන්තියේ අවශ්‍යතා සම්පූර්ණ කිරීමෙන් පසුව පමණි.
    දින 7ක නොතීසි කාලය ඇතුළත ලීසිංලාභියා හිඟ මුදල් පියවීමට අපොහොසත් වුවහොත් හෝ ඒ සඳහා සාධාරණ හේතුවක් ඉදිරිපත් නොකළහොත් පමණක් ලීසිං සමාගමට පහත පියවර ගත හැක:

    1. ලීසිං ගිවිසුම අවසන් කිරීම.
    2. වාහනයේ සන්තකය නැවත ලබා ගැනීම (Repossession).
    3. සිදුවූ අලාභයන් අය කර ගැනීමට නීතිමය පියවර ගැනීම.

    සටහන:

    ලීසිං වාරිකයක් හෝ කිහිපයක් පමාවූ පමණින් පූර්ව ලිඛිත නීතිමය නොතීසියක් නොදෙමින් හදිසියේ වාහන බලහත්කාරයෙන් අත්පත් කරගැනීමට ලීසිං සමාගම්වලට නීතිමය හැකියාවක් නොමැත.

    (තොරතුරු වාර්තා කිරීම: නීතිඥ පී. අමිත අබයසේකර සිල්වා – පොලිස් පරීක්ෂක, නීති කොට්ඨාසය)

    Latest Posts

    spot_imgspot_img