2026 ලංකා ප්‍රීමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩකයින්ට තරග පාවාදීම සඳහා බලපෑම් කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් ජැෆ්නා කිංග්ස් (Jaffna Kings) කණ්ඩායමේ සම හිමිකරු වන ඉන්දීය ජාතික මන්ජෝත් කල්රා ඇතුළු සැකකරුවන් දෙදෙනා ලබන ජූලි 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කර තිබේ.

ඊයේ (17) පෙරවරුවේ ක්‍රීඩා දූෂණ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් මොවුන් අත්අඩංගුවට ගෙන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය පනවා ඇත.
භානුක, දුනිත් සහ අවිශ්කට ඩොලර් ලක්ෂ 3ක ඇමක්!
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් ක්‍රීඩා දූෂණ විමර්ශන අංශයේ නිලධාරීන් කියා සිටියේ, මෙම ජාවාරමට සම්බන්ධ සියලු දුරකථන සංවාද පටිගත කර ඇති අතර වීඩියෝ දර්ශනද සාක්ෂි ලෙස පවතින බවයි.
"මෙම සැකකරුවන් දෙදෙනා භානුක රාජපක්ෂ, දුනිත් වෙල්ලාලගේ සහ අවිශ්ක ප්‍රනාන්දු ඇතුළු ක්‍රීඩකයින් කිහිපදෙනෙකුට තරග පාවාදීම සඳහා යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. පසුව 'බාන්ස් කැෆේ' නැමැති ස්ථානයකදී ක්‍රීඩකයින් හමුවී තරග 4ක් පාවාදීම වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 3ක (300,000) මුදලක් ලබාදීමට සැකකරු යෝජනා කර තිබෙනවා." - ක්‍රීඩා දූෂණ විමර්ශන අංශය
ක්‍රීඩකයින්ගෙන් සුපිරි ‘ස්ටින්ග් ඔපරේෂන්’ එකක්
මෙම නීතිවිරෝධී යෝජනාව පැමිණි වහාම අදාළ ක්‍රීඩකයින් ඒ පිළිබඳව ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ විමර්ශන අංශයට දැනුම් දී ඇත. එහිදී විමර්ශන නිලධාරීන් ලබාදුන් උපදෙස් මත, සැකකරුවන් කොටු කරගැනීම සඳහා ක්‍රීඩකයින් විසින් එක් තරගයකට ඩොලර් 50,000 බැගින් ඉල්ලා තිබේ.
BOC මූලස්ථානය ඉදිරිපිටදී කළු බෑගයත් සමඟ කොටු වෙයි!
අධිකරණයේදී හෙළි වූ පරිදි මෙම ගනුදෙනුවේ සුලමුල මෙසේය:
- මුල් එකඟතාව: රුපියල් ලක්ෂ 120ක්.
- පසුව සංශෝධිත මුදල: රුපියල් ලක්ෂ 115ක්.
- කොටු කරගත් අවස්ථාව: පසුගිය 16 වනදා රුපියල් ලක්ෂ 95ක මුදලක් දෙවන සැකකරු විසින් කොළඹ ලංකා බැංකු (BOC) මූලස්ථානය ඉදිරිපිටදී ලබාදීමට පැමිණි අවස්ථාවේදී, කළු පැහැති බෑගයක තිබූ මුදල් ද සමඟින් විමර්ශන නිලධාරීන් විසින් ඔවුන්ව කොටු කරගෙන ඇත.
“අපි ආවේ ක්‍රිකට් ප්‍රවර්ධනය කරන්න” – විත්තියේ නීතිඥයින් කියයි
කෙසේවෙතත්, සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා චෝදනා ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ, කණ්ඩායම් හිමිකරු අල්ලස් දුන් බවට කිසිදු සාක්ෂියක් නොමැති බවයි. මොවුන් තරුණ ව්‍යවසායකයින් බවත්, ලංකාවට පැමිණියේ විශාල මුදලක් ආයෝජනය කර ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමට බැවින් ඔවුන්ට ඇප ලබාදෙන ලෙසත් නීතිඥවරයා ඉල්ලා සිටියේය.
මහේස්ත්‍රාත් තීරණය
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, මෙම අවස්ථාවේදී සැකකරුවන්ට ඇප ලබා දුනහොත් විමර්ශනවලට දැඩි බලපෑමක් එල්ල විය හැකි බව පවසමින්, ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර සැකකරුවන් ලබන 31 වනදා දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග කළේය.



