HariDeshayaLk ගවේෂණාත්මක පුවත් සේවය
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) පසුගිය 2023 සිට 2025 දක්වා වසර තුනක කාලය තුළ විවිධ නීතිමය කටයුතු සහ නඩු වෙනුවෙන් පමණක් රුපියල් මිලියන 680 කට (කෝටි 68) අධික මහජන මුදලක් වැය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ වී තිබේ. ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා විසින් ක්‍රීඩා පරිපාලනය ප්‍රතිසංස්කරණය සඳහා පත් කරන ලද “පරිවර්තන කමිටුවේ” (Transformation Committee) සෘජු අවධානයට මේ වන විට මෙම කරුණ යොමුව ඇති බව විශ්වාසකටයුතු ආරංචි මාර්ග තහවුරු කරයි.
විවේචකයන් සහ මාධ්‍ය මර්දනයට මූල්‍ය ශක්තිය භාවිත කිරීමේ චෝදනා
ලැබී ඇති අභ්‍යන්තර තොරතුරුවලට අනුව, මෙම දැවැන්ත මූල්‍ය ප්‍රතිපාදනවලින් වැඩි ප්‍රමාණයක් වැය කර ඇත්තේ ක්‍රිකට් ආයතනයේ පැවැති පාලනාධිකාරියේ ක්‍රියාකලාපය විවේචනය කළ පාර්ශවයන්ට එරෙහිව නඩු පැවරීම සහ ඒවා නඩත්තු කිරීම වෙනුවෙනි. ආයතනයට එරෙහිව ලැබුණු තීන්දු සහ පැරදුණු නඩු වෙනුවෙන් වන්දි ගෙවීමට ද මෙයින් යම් ප්‍රතිශතයක් වැය කර ඇතත්, තව කොටසක් වැය වී ඇත්තේ “අපහාසයට එරෙහි නඩු” (Defamation Lawsuits) වෙනුවෙන් නීතිඥ ගාස්තු ගෙවීමටය.
මෙලෙස ක්‍රිකට් ආයතනයේ මූල්‍ය ප්‍රතිපාදන ආධාරයෙන් නීතිමය ක්‍රියාමාර්ගවලට මුහුණ දීමට සිදු වූ පාර්ශවයන් අතර:
ප්‍රමුඛ මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන්: ලේක්හවුස්, ටයිම්ස් සහ උපාලි පුවත්පත් සමාගම් මෙන්ම ක්‍රිකට් දූෂණ හෙළි කළ මාධ්‍යවේදීන්.
දේශපාලන අධිකාරිය: හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්.
සිවිල් සමාජය: ක්‍රිකට් පරිපාලනයේ විනිවිදභාවය ඉල්ලා සිටි සමාජ ක්‍රියාකාරීන්.
තෝරාගත් නීතිඥ කණ්ඩායමකට මිලියන ගණනින් ගෙවීම්
ගවේෂණාත්මක වාර්තාවලට අනුව, මෙම මිලියන 680 ක මුදල සමස්ත නීති ක්ෂේත්‍රය වෙත විමධ්‍යගත වූවක් නොව, ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධියක් උසුලන ජනාධිපති නීතිඥවරුන් සහ නීතිඥයින් කිහිප දෙනෙකුගෙන් සමන්විත සීමිත කණ්ඩායමක් වෙත පමණක් ගලාගිය මුදලකි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර ගිණුම් වාර්තා උපුටා දක්වමින් වාර්තා වන පරිදි, මෙම නඩු වෙනුවෙන් උපරිම වාර ගණනක් පෙනී සිටිමින් ඉහළම වෘත්තීය ගාස්තු ලබාගත් නීතිඥයින් අතර:
- ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා
- ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා
- නීතිඥ චරක ජයරත්න
- නීතිඥ එම්.ජේ.එස්. ෆොන්සේකා
- ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා
- නීතිඥ ජීවන්ත ලක්මාල්
මීට අමතරව, එම වකවානුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල නීති උපදේශකවරයා ලෙස කටයුතු කළ අසේල රැකව මහතා ද නීතිමය උපදෙස් සහ ඊට අදාළ කටයුතු වෙනුවෙන් සුවිශාල මූල්‍ය ප්‍රතිලාභ ලබාගෙන ඇති බව විමර්ශනවලදී නිරීක්ෂණය වී ඇත.
පරිවර්තන කමිටුවේ මැදිහත්වීම සහ වත්මන් තත්ත්වය

ක්‍රිකට් ආයතනයේ මුදල් අවභාවිතය වැළැක්වීම සහ අනවශ්‍ය නීතිමය වියදම් කපා හැරීමේ අරමුණින් වත්මන් පරිවර්තන කමිටුව වහාම ක්‍රියාත්මක වී තිබේ. ඒ අනුව, පසුගිය පාලන සමයේ පුද්ගලික සහ දේශපාලන න්‍යායපත්‍ර මත පවරා තිබූ බවට සැක කෙරෙන නඩු අතුරින් නඩු 18 ක් මේ වන විටත් සමථයකට පත් කර ගැනීමට හෝ සම්පූර්ණයෙන්ම ඉල්ලා අස්කර ගැනීමට කමිටුව පියවර ගෙන ඇත.
මෙම මූල්‍ය නාස්තිය සම්බන්ධයෙන් ඉදිරියේදී විධිමත් විගණන වාර්තාවක් කැඳවීමට සහ වගකිවයුත්තන්ට එරෙහිව දැඩි පියවර ගැනීමට ක්‍රීඩා අමාත්‍යාංශය අපේක්ෂා කරන බව වාර්තා වේ.



