Latest Posts

ලාංකිකයන් ලක්ෂ 220කගේ ඇඟිලි සලකුණු ඉන්දියාවට? SL-UDI ව්‍යාපෘතිය ගැන බරපතළ හෙළිදරව්වක්

අද කාලයේ රටක ස්වෛරීභාවය හෙවත් නිදහස තීරණය වෙන්නේ යුද හමුදාවෙන් හෝ දේශසීමාවලින් පමණක් නොවේ. රටේ පුරවැසියන්ගේ පෞද්ගලික දත්ත, එනම් ඇඟිලි සලකුණු, ඇසේ කණිනිකාව (Iris) වැනි සංවේදී ජීවදත්ත (Biometrics) ආරක්ෂා කරගැනීමට රටකට ඇති හැකියාව මතයි. නමුත්, මේ වන විට සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේම සංවේදී දත්ත විදේශ රටක පාලනයට නතුවීමේ දැඩි අවදානමක් පිළිබඳව සමාජය තුළ විශාල කතාබහක් නිර්මාණය වී තිබේ. ඊට හේතුවී ඇත්තේ යෝජිත ‘ශ්‍රී ලංකා ඩිජිටල් අනන්‍යතා පද්ධතිය’ (SL-UDI) හෙවත් නව ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතියයි.

රුපියල් බිලියන 10.4ක ආධාරය පිටුපස ඇති ‘කොන්දේසි උගුල’

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ ඉන්දියානු රජයෙන් ලබාදෙන රුපියල් බිලියන 10.4ක (ඉන්දීය රුපියල් කෝටි 300ක) මූල්‍ය ආධාරයකිනි. බැලූ බැල්මට මෙය සහනයක් සේ පෙනුණද, මෙහි ඇති බරපතළම ගැටලුව වන්නේ මෙය ‘කොන්දේසි සහිත ආධාරයක්’ (Tied Aid) වීමයි.

ටෙන්ඩර් කොන්දේසිවලට අනුව, මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන කාර්යයන් භාරදෙනු ලබන්නේ ඉන්දීය සම්භවයක් සහිත සමාගම්වලට පමණි. එමෙන්ම ව්‍යාපෘතියට අදාළ මෘදුකාංග සපයන්නේද ඉන්දියාවේ ‘මොසිප්’ (MOSIP) වේදිකාව මගිනි. වඩාත් පුදුමයට කරුණ වන්නේ, ව්‍යාපෘතිය අධීක්ෂණය කරන ලංකාවේ කමිටුවේ සම-සභාපතිවරයෙකු ලෙස ඉන්දීය මහා කොමසාරිස්වරයාද කටයුතු කිරීමයි.

මුදල්, තාක්ෂණය සහ ටෙන්ඩරය යන සියල්ලම ඉන්දියාව සතු වන විට අපේ රටේ දත්තවල සුරක්ෂිතභාවය පිළිබඳව සාධාරණ සැකයක් මතු වේ.

තෝරාගත් ඉන්දීය සමාගම් සහ ජාතික ආරක්ෂාව

මේ වන විට ව්‍යාපෘතිය සඳහා අවසන් වටයට ඉන්දීය සමාගම් 5ක් තෝරාගෙන ඇත. නමුත් එම සමාගම්වල පසුබිම සොයාබැලීමේදී පෙනී යන්නේ එය අපේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවයි.

01. “Bharat Electronics Limited (BEL)” මෙය ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන මිලිටරි සමාගමකි. ලාංකිකයන්ගේ දත්ත වෙනත් රටක හමුදාවකට සම්බන්ධ සමාගමකට ලබාදීම කොතරම් දුරට ආරක්ෂිතද?
02. “RailTel Corporation” ඉන්දීය දුම්රිය අමාත්‍යාංශයට අයත් මෙම සමාගමට, මෙවැනි ඩිජිටල් අනන්‍යතා පද්ධති හැසිරවීම පිළිබඳව කිසිදු ජාත්‍යන්තර අත්දැකීමක් නොමැත.
03. “Protean e-Gov Technologies” මීට පෙර රජයක් යටතේ තාක්ෂණිකව නුසුදුසු යැයි පවසා ලංකාවෙන් බැහැර කළ සමාගමකි.
04. “Infosys & TCS” ඉන්දියාවේ බදු පද්ධතිවල මහා පරිමාණ තාක්ෂණික බිඳවැටීම් සිදුකළ බවට චෝදනා ලැබූ සමාගම් දෙකකි.

අසාර්ථක ‘ආධාර්’ (Aadhaar) පද්ධතිය ලංකාවට ගැලපෙනවාද?

ලංකාවේ ක්‍රියාත්මක කිරීමට යන්නේ ඉන්දියාවේ ‘ආධාර්’ පද්ධතියේ ආකෘතියයි. නමුත් එම පද්ධතිය හරහා ඉන්දියාවේ කෝටි ගණනකගේ දත්ත පිටවී (Data Breaches) ඇති බව ලෝක ආර්ථික සංසදය (WEF) පවා පෙන්වා දී තිබේ. දත්ත කාන්දුවීම් සහ තාක්ෂණික දෝෂ නිසා ඉන්දියාවේ ඇතැම් ජනතාවට සහනාධාර පවා අහිමි වූ බවට ජාත්‍යන්තර වාර්තා පවතී.

දේශපාලන පොරොන්දු සහ නීති වෙනස් කිරීම්

විපක්ෂයේ සිටියදී වත්මන් ආණ්ඩුවේ ප්‍රබලයන් මෙන්ම සිවිල් ක්‍රියාකාරීන්ද මෙම ව්‍යාපෘතියට එරෙහිව දැඩිව හඬ නැගූහ. එදා මෙය “ඉන්දියාවට රට පාවා දීමක්” ලෙස හැඳින්වූ අයට, අද බලයට පැමිණි පසු එය අමතක වී තිබේ. ඊටත් වඩා භයානක කරුණ නම්, මෑතකදී පුද්ගලික දත්ත ආරක්ෂණ පනතට (PDPA) සංශෝධන ගෙන එමින් දත්ත රටින් පිටතට ගෙනයාමට තිබූ නීතිමය බාධා ඉවත් කිරීමට කටයුතු කර තිබීමයි.

අපට ඇති විකල්ප මොනවාද? තවමත් ප්‍රමාද නැත!

තාක්ෂණික විශේෂඥයන් පෙන්වා දෙන්නේ මේ සඳහා ලංකාවට වඩාත් ආරක්ෂිත විකල්ප පවතින බවයි. ප්‍රංශ සමාගමක් හරහා රුපියල් බිලියන 5.5ක වියදමින් 80%ක් වැඩ අවසන් කර ඇති ඊ-හැඳුනුම්පත් (e-NIC) පද්ධතියක් දැනටමත් ලංකාව සතුව පවතින අතර කොන්දේසි සහිත ආධාරයකට යට නොවී, ලෝක බැංකුව (World Bank) වැනි ආයතනයකින් ණයක් ලබාගෙන ජාත්‍යන්තර සමාගම් සඳහා විවෘත ටෙන්ඩරයක් කැඳවීමට ලංකාවට හැකියාව ඇත. එමෙන්ම සිංගප්පූරුව හෝ එස්තෝනියාව වැනි රටවල් භාවිතා කරන ඉතා ආරක්ෂිත ඩිජිටල් ආකෘති ලංකාවටත් යොදාගත හැකිය.

කිසිදා ආපසු හැරවිය නොහැකි දත්ත පාවාදීමකට පෙර, වහාම ක්‍රියාත්මක වන පරිදි ස්වාධීන ආරක්ෂක විගණනයක් (Independent Security Audit) සිදුකර රටේ දත්ත ස්වෛරීභාවය තහවුරු කරන්නැයි විචාරකයෝ බලධාරීන්ගෙන් දැඩිව ඉල්ලා සිටිති.

Latest Posts

spot_imgspot_img