ජාතික සංවර්ධන බැංකුවේ (NDB) සිදුව ඇති දැවැන්ත මූල්‍ය වංචාව සම්බන්ධයෙන් ඊට අදාළ පරිඝනක හා උපාංග කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබේ.

ඒ සම්බන්ධයෙන් විමර්ශනය කර ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.
මේ දැවැන්ත මූල්‍ය වංචාව සම්බන්ධ නඩුව අද (30) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග බෝධරගම මහතා හමුවේ කැඳවූ අවස්ථාවේ දැනට මේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ්භාරයට පත්කර සිටින සිවුදෙනා වන එම බැංකුවේ නිලධාරීන් ඇතුළු සැකකරුවන්ගෙන් ලබන මැයි 04 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ්භාරයට පත්කරන ලෙස නියෝග කළේය.
මේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ ලහිරු හර්ෂණ, පැතුම් කොතලාවල, කෝසල තරංග හා මොහොමඩ් ඉන්හමුල් හෂාන් නැමැති සැකකරුවන් වෙති.
මේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පවත්වා සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් සිටින්නේ නම් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
පුවත් මූලාශ්‍රය – ශ්‍රී ලංකන් මිරර්



