සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබාදීමේ ක්‍රියාවලියට විරෝධය පළ කරමින්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) හෙට (09) පෙරවරු 8.00 සිට පැය 48ක කාලයක් පුරා දීප ව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර ඇත.

වර්ජනයට හේතුව
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ, පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබාදීමට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශය මීට පෙර තම සංගමය සමග එකඟ වී තිබූ කොන්දේසි උල්ලංඝනය කරමින්, අදාළ පත්වීම් ලබාදීමට පියවර ගැනීම හේතුවෙන් මෙම දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගය ගැනීමට තීරණය කළ බවයි. ඒ අනුව හෙට පෙරවරු 8.00 සිට දිවයින පුරා රෝහල් කේන්ද්‍ර කරගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක වනු ඇත.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ යාවත්කාලීන නිවේදනය
කෙසේ වෙතත්, මෙම වැඩවර්ජන තීරණය ප්‍රකාශයට පත් කර ඇති පසුබිමක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් සඳහා අයදුම් කළ නවක වෛද්‍ය නිලධාරීන් 436 දෙනෙකු සඳහා ඔවුන්ගේ නව සේවා ස්ථාන අද (08) නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී.
ඒ අනුව අදාළ පත්වීම් ලාභී වෛද්‍යවරුන් හෙට (09) දින සිට එළඹෙන 11 වැනිදා දක්වා කාලය තුළ තමන් අනුයුක්ත කර ඇති දිවයින පුරා පිහිටි රජයේ රෝහල් හෝ සෞඛ්‍ය ආයතන වෙත සේවය සඳහා වාර්තා කළ යුතු බව අමාත්‍යාංශය දැනුම් දෙයි.



