වත්මන් දේශපාලන කරළිය තුළ වත්කම් සම්බන්ධයෙන් අනුගමනය කෙරෙන “දෙබිඩි පිළිවෙත” දැඩි විවේචනයට ලක් කරමින්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේය. ඔහු අවධාරණය කළේ ආණ්ඩු පක්ෂයේ පුද්ගලයින් සතු වත්කම් ‘සමාජ ප්‍රාග්ධනය’ ලෙස හඳුන්වන පිරිස්, විපක්ෂයේ හෝ රාජ්‍ය සේවයේ පිරිසකට වත්කමක් තිබීම ‘හොරකමක්’ ලෙස ලේබල් කරන බවයි.

තම උපන්දිනය නිමිත්තෙන් කැළණිය රජමහා විහාරයේ සංවිධානය කර තිබූ පින්කමකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.
සමාජ ප්‍රාග්ධනය සහ වත්කම් පිළිබඳ අලුත් අර්ථකථනය
මේ දිනවල ජනප්‍රිය වී ඇති ‘සමාජ ප්‍රාග්ධනය’ යන සංකල්පය පිළිබඳව තමා අධ්‍යයනය කරමින් සිටින බව පැවසූ නාමල් රාජපක්ෂ මහතා මෙසේ පැහැදිලි කළේය:
“දැන් ආණ්ඩුවේ අයටයි, ජේවීපී එකේ අයටයි මොකක් හරි හම්බවුණාම ඒක සමාජ ප්‍රාග්ධනයක්. හැබැයි විපක්ෂයේ දේශපාලනඥයෙක්ට හෝ රාජ්‍ය සේවකයෙක්ට වත්කමක් තිබුණොත් ඒක හොරකමක්. මේක පුදුම විදියේ බෙදීමක්.”
පදනම් විරහිත චෝදනා සහ වර්තමාන වංචා
පසුගිය කාලසීමාව පුරා රාජපක්ෂවරුන්ට එරෙහිව එල්ල වූ චෝදනා සිහිපත් කළ මන්ත්‍රීවරයා, ලැම්බොගිනි, රත්තරන් අශ්වයන් සහ උගන්ඩාවට ඩොලර් බිලියන 18ක් ගෙනගිය බවට පැවසූ කතා හුදු දේශපාලන බොරු බව ප්‍රකාශ කළේය. එමෙන්ම වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාකලාපය විවේචනය කරමින් ඔහු කියා සිටියේ, එදා පොහොර ටෙන්ඩර් හරහා චෝදනා ලැබූවන් අද ගල් අඟුරු ටෙන්ඩර් හරහා විශාල වංචාවන් සිදුකරන බවයි. මෙම වංචාවල පාඩුව අවසානයේ විදුලි බිල සහ තෙල් මිල හරහා අහිංසක ජනතාවට දැරීමට සිදුව ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
අර්බුද කළමනාකරණය සහ අතීතය
තම පාලන කාලය තුළ රට මුහුණ දුන් අභියෝග පිළිබඳව අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, කොවිඩ් වසංගතය හමුවේ ආර්ථිකයට වඩා ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමට ප්‍රමුඛතාව දෙමින් අසීරු අවස්ථාවලදී පවා රුපියල් පන්දහසේ දීමනාව ලබාදුන් බව සිහිපත් කළේය. එසේම, බෙදුම්වාදී යුද්ධය නිමා කිරීමේදී මහින්ද රාජපක්ෂ මහතා ලෝකයේ විවිධ දෝෂාරෝපණයන්ට ලක් වුවද ඔහු එදා සිදු කළේ විශාල සමාජ ව්‍යසනයක් වැළැක්වීම බවත්, පසුගිය අරගල අවස්ථාවේදී පවා තරුණයන් සමඟ ගැටුම් ඇති කරගෙන ලේ වැගිරීම්වලට ඉඩ නොතබා ප්‍රජාතන්ත්‍රවාදීව අඩියක් පස්සට ගෙන කටයුතු කළේ තවත් සමාජ ව්‍යසනයක් වැළැක්වීමේ අරමුණින් බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
අවසාන වශයෙන් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, අද පවතින ආණ්ඩුව පපුවේ කිසිම තෙතමනයක් නොමැතිව තීරණ ගනිමින් තමන් කරන වංචාවල බර පවා ජනතාව පිට පටවමින් සිටින බවයි.



