ශ්‍රී ලංකාවේ බැංකු, මූල්‍ය සමාගම්, රක්ෂණ ආයතන සහ සුඛෝපභෝගී ස්වර්ණාභරණ ව්‍යාපාර කිහිපයක් තුළ ක්‍රියාත්මක වන බරපතළ පරිපාලන සහ නියාමන දුර්වලතා රැසක් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය (FIU) විසින් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
කළු සල්ලි සුදු කිරීම (Money Laundering) සහ ත්රස්තවාදයට මුදල් සැපයීම (Terrorist Financing) වැළැක්වීම සඳහා පනවා ඇති දැඩි නීතිරීති, මෙරට ප්‍රධාන පෙළේ මූල්‍ය ආයතන විසින් හුදු කඩදාසිවලට සහ ලියකියවිලිවලට පමණක් සීමා කර ඇති බවට මෙම දත්ත මගින් බරපතළ ප්‍රශ්නාර්ථයක් මතු කරයි.
එක්සත් ජාතීන්ගේ තහනම් ලැයිස්තු නොතැකූ දැවැන්තයෝ
2006 අංක 6 දරන මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනත උල්ලංඝනය කරමින්, ජාත්‍යන්තරව තහනම් කරන ලද පුද්ගලයන් සමඟ ගනුදෙනු කිරීම සහ අනිවාර්ය මූල්‍ය වාර්තා සැඟවීම සම්බන්ධයෙන් ප්‍රධාන පෙළේ ආයතන කිහිපයකටම දඩ නියම කිරීමට මූල්‍ය බුද්ධි ඒකකයට සිදුවිය. 2025 අගභාගයේ සිට 2026 මැද භාගය දක්වා පමණක් මෙලෙස පනවා ඇති මුළු දඩ මුදල රුපියල් මිලියන 17.9කි.
- කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් (Commercial Credit & Finance): එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් තහනම් කළ පුද්ගලයෙකු සමඟ ව්‍යාපාරික සබඳතා පවත්වාගෙන යාම සහ ජාත්‍යන්තර තහනම් ලැයිස්තු යාවත්කාලීන වන විට තම පද්ධති වෙනස් නොකිරීම හේතුවෙන් 2026 අප්‍රේල් මාසයේදී රුපියල් මිලියන 3ක දඩයකට යටත් විය.
- CDB මූල්‍ය සමාගම (Citizens Development Business Finance): එක්සත් ජාතීන්ගේ තහනමට ලක්වූ පුද්ගලයන් තිදෙනෙකු සමඟ ගනුදෙනු පවත්වා ඔවුන්ගේ වත්කම් තහනම් නොකිරීමේ බරපතළ වරදට රුපියල් මිලියන 3ක දඩයක් ගෙවීමට සිදුවිය.
- සණස ලයිෆ් ඉන්ෂුවරන්ස්: රුපියල් මිලියනය ඉක්මවූ ගනුදෙනු 9ක් වාර්තා නොකිරීම, තහනම් ලැයිස්තු පරීක්ෂා නොකිරීම සහ ඉහළ කළමනාකාරීත්වයේ අනුමැතියකින් තොරව දේශපාලනිකව බලපෑම් කළ හැකි පුද්ගලයෙකු (PEP) ගනුදෙනුකරුවෙකු ලෙස බඳවා ගැනීම නිසා රුපියල් මිලියන 2ක දඩයක් නියම විය.
- ඉන්දියන් ඕවර්සීස් බැංකුව: විශාල ගනුදෙනු 13ක් වාර්තා නොකිරීම සහ විදේශ මුදල් හුවමාරුවලදී තහනම් ලැයිස්තු පරීක්ෂා නොකිරීම හේතුවෙන් රුපියල් මිලියනයක දඩයක් පැනවිණි.
- නිව් නතාෂා (පුද්) සමාගම: විදේශ විනිමය හුවමාරු ආයතනයක් වන මෙම සමාගම, රුපියල් ලක්ෂ 2 ඉක්මවන ගනුදෙනුවලදී මුදල් ලැබුණු මූලාශ්‍ර සහ අනන්‍යතා වාර්තා රැස් නොකිරීම හේතුවෙන් 2026 මැයි මාසයේදී රුපියල් 300,000ක දඩයකට ලක්විය.
බැංකු සහ මූල්‍ය සමාගම්වලට අමතරව සුඛෝපභෝගී වෙළෙඳපොළ හරහා ද කළු සල්ලි සංසරණය වීමේ අවදානම තහවුරු කරමින්, ගැනුම්කරුවන්ගේ සැබෑ හිමිකාරීත්වය (Beneficial Ownership) සහ තහනම් ලැයිස්තු පරීක්ෂා නොකිරීම මත ස්වර්ණමහල් ජුවලර්ස් ආයතනයට රුපියල් මිලියන 2ක් සහ හාබර් විලේජ් සමාගමට රුපියල් මිලියනයක් බැගින් දඩ නියම කර තිබේ.
රටම බිල්ලට දෙන ‘අළු ලැයිස්තු’ අවදානම
මෙය හුදෙක් ආයතන කිහිපයක පරිපාලන අතපසුවීමක් ලෙස ලඝු කළ නොහැකිය. කළු සල්ලි සුදු කිරීම වැළැක්වීම පිළිබඳ ආසියා-පැසිෆික් කණ්ඩායම (APG) විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදුකරන තෙවන අන්‍යෝන්‍ය ඇගයීමේ (Mutual Evaluation) ස්ථානීය පරීක්ෂණ 2026 ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී කොළඹදී පැවැත්විණි.
මෙම ජාත්‍යන්තර විගණනයෙන් ශ්‍රී ලංකාව අසමත් වුවහොත්, රට යළිත් ජාත්‍යන්තර මූල්‍ය අවදානම් සහිත රටවල ලැයිස්තුව හෙවත් ‘අළු ලැයිස්තුවට’ (Grey-list) ඇතුළත් වීම වැළැක්විය නොහැකිය. එවැන්නක් සිදුවුවහොත්:
- විදේශීය ආයෝජකයන් ශ්‍රී ලංකාව කෙරෙහි තබා ඇති විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳ වැටී රට අතහැර යනු ඇත.
- ජාත්‍යන්තර බැංකු සමඟ සිදුකරන ගනුදෙනු (Correspondent Banking) අවහිර වීම හෝ ඒ සඳහා අධික පිරිවැයක් දැරීමට සිදුවනු ඇත.
- ආර්ථික අර්බුදයෙන් යන්තම් හිස ඔසවමින් සිටින සමස්ත රටේම ආනයන-අපනයන වෙළෙඳාම යළිත් අඩපණ වනු ඇත.
2026 අගෝස්තු මාසයේදී රජය විසින් අදාළ පනත් තුනක් සංශෝධනය කරමින් නීතිමය රාමුව ශක්තිමත් කළද, බිම් මට්ටමේ මූල්‍ය ආයතන ඒවා තඹයකට මායිම් නොකරන්නේ නම් එම නීතිවලින් කිසිදු පලක් නොවේ.
සාමාන්‍ය ජනතාවගේ රුපියල් සත තැන්පතු මතින් ගොඩනැගී, වාර්ෂිකව බිලියන ගණනින් ලාභ උපයන කොමර්ෂල් ක්‍රෙඩිට්, CDB, සණස ලයිෆ් වැනි දැවැන්තයන්ට මහ බැංකුව පනවන රුපියල් මිලියන දෙක තුනක දඩ මුදල් යනු තේ කෝප්පයක වියදමක් පමණි. එම සොච්චම් දඩ මුදල් ගෙවා දමා, යළිත් සුපුරුදු පරිදි ජාත්‍යන්තරව තහනම් කළ ත්‍රස්තවාදී හෝ කළු සල්ලි ජාවාරම්කරුවන්ට තම පද්ධති විවෘත කර තැබීමට මෙම ආයතනවලට ඇති සදාචාරාත්මක අයිතිය කුමක්ද?
තමන්ගේ පද්ධති යාවත්කාලීන නොවූ බව හෝ නිලධාරීන්ට අතපසු වූ බව පවසමින් වගකීමෙන් කර ඇරීමට මෙම ආයතනවල අධ්යක්ෂ මණ්ඩලවලට සහ ප්‍රධාන විධායක නිලධාරීන්ට (CEOs) තවදුරටත් ඉඩ නොතැබිය යුතුය. ආයතන කිහිපයක ලාභ තණ්හාව සහ නොසැලකිල්ල නිසා සමස්ත ශ්‍රී ලංකාවම ජාත්‍යන්තර ‘අළු ලැයිස්තුවට’ තල්ලු වන්නේ නම්, ඊට වගකිව යුත්තේ මේ රටේ සාමාන්‍ය පුරවැසියන් නොව, මහ බැංකු නීති කඩදාසිවලට සීමා කළ මෙම මූල්‍ය ආයතනවල ඉහළ පුටුවල සිටින බලධාරීන්ය. හුදු දඩ මුදල්වලින් ඔබ්බට ගොස්, ඔවුන්ගේ බලපත්‍ර අත්හිටුවීමට සහ අධ්යක්ෂ මණ්ඩලවලට එරෙහිව පෞද්ගලිකව නීතිය ක්‍රියාත්මක කිරීමට මහ බැංකුවට කොන්දක් තිබේද යන්න දැන් රට හමුවේ ඇති ප්‍රධානතම ප්රශ්නයයි.



