රාජ්‍ය ආයතන තුළ විනිවිදභාවය, අවංකභාවය සහ කාන්තාවන්ට ආරක්ෂිත වැඩබිමක් තහවුරු කිරීමේ “Clean Sri Lanka” සංකල්පය ගැන රටම කතා කරන මොහොතක, මෙරට ප්‍රමුඛතම රාජ්‍ය ආයතනයක් වන නාගරික සංවර්ධන අධිකාරිය (UDA) තුළ සිදුව ඇති බරපතළ ලිංගික හිංසන ජාලයක් යටපත් කිරීමේ නිර්ලජ්ජිත උත්සාහයක් පිළිබඳව කරුණු අනාවරණය වී තිබේ.

නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (මානව සම්පත්) සොලමන් සුමනසූරිය මහතා, විමර්ශනයකට අදාළව අමාත්‍යාංශය වෙත මාරු කර යැවීමෙන් අනතුරුව හදිසියේම සිය සේවය හැරගොස් ඇත. අධිකාරියේ තරුණ සැලසුම් නිලධාරිනියකට සිදු කළ බව කියන ලිංගික අතවරයක් සම්බන්ධයෙන් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය විසින් පරීක්ෂණයක් ආරම්භ කිරීම මීට ආසන්නතම හේතුවයි.
නමුත්, මෙම සිද්ධියට අදාළව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත යොමු කර ඇති නිල පැමිණිලි ලිපිය පරීක්ෂා කිරීමේදී හෙළි වන්නේ, සුමනසූරිය මහතා සේවය හැර යාමෙන් පමණක් මේ කතාව අවසන් නොවන බවයි. මෙය හුදෙක් එක් නිලධාරියෙකුගේ වරදකින් ඔබ්බට ගිය, ආයතනික බලය අවභාවිත කරමින් කාන්තාවන් දඩයම් කරන “බලවතුන්ගේ ජාලයක” ක්රියාකාරීත්වයකි.
චෝදනාවට ලක්වූ තිදෙනා සහ ක්‍රියාත්මක වූ ‘තෝරාගත් යුක්තිය’
අධිකාරියේ හිටපු සැලසුම් නිලධාරිනියක විසින් බත්තරමුල්ල, සෙත්සිරිපාය දෙවන අදියරේ පිහිටි කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත යොමු කර ඇති එම පැමිණිලි ලිපියේ, තමන්ට ලිංගික අතවර සහ හිංසන සිදු කළ බව කියන UDA ඉහළම නිලධාරීන් තිදෙනෙකුගේ නම් කිසිදු පැකිලීමකින් තොරව සඳහන් කර තිබේ:
- සොලමන් සුමනසූරිය මහතා – නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (මානව සම්පත්)
- ලලිත් විජේරත්න මහතා – නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (සැලසුම්)
- එම්.පී. රණතුංග මහතා – නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (සැලසුම්)
ළමා හා කාන්තා කාර්යාංශය විසින් මෙම අතවර සිද්ධියට සම්බන්ධ සෙසු පුද්ගලයන් පිළිබඳව ද අධිකාරිය වෙත නිල වශයෙන් දැනුම් දී තිබියදී, UDA පාලනාධිකාරිය විමර්ශන ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ සොලමන් සුමනසූරිය මහතාට එරෙහිව පමණක් බව අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කරයි.
පැමිණිල්ලේ නම් ඉතා පැහැදිලිව සඳහන්ව තිබියදීත්, සැලසුම් අංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරුන් වන ලලිත් විජේරත්න සහ එම්.පී. රණතුංග යන මහත්වරුන් කිසිදු විමර්ශන ක්‍රියාමාර්ගයකට ලක් නොවී අදටත් නිදැල්ලේ, සුපුරුදු බලතල භුක්ති විඳිමින් සිටීම බරපතළ සැකයකට තුඩු දෙන්නකි. ආයතනයේ ඉහළම පුටුවක සිටින බලවතෙකු සමඟ පවතින සමීප සබඳතාව මෙලෙස නීතිය නැවීමට සහ චූදිතයන් දෙදෙනෙකු ආරක්ෂා කිරීමට හේතු වී ඇති බවට අධිකාරියේ සේවකයෝ ඍජුවම චෝදනා නගති.
ලිංගික අල්ලස්, උසස්වීම් සහ බියගැන්වීමේ සංස්කෘතිය
හිටපු සැලසුම් නිලධාරිනියගේ ලිපියෙන් හෙළිදරව් වන කරුණු සාමාන්‍ය විනය විරෝධී ක්‍රියාවකට වඩා අතිශය භයානක ය. තමන්ට මුහුණ දීමට සිදු වූ දැඩි ලිංගික හිංසනය සහ මානසික පීඩනය දරාගත නොහැකිව සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට සිදු වූ බව ඇය එහි සඳහන් කරයි. ඇගේ ලිපියට අනුව UDA ආයතනය තුළ ක්‍රියාත්මක වන මාෆියාකරණය වූ පීඩාකාරී තත්ත්වයේ ස්වභාවය මෙසේය:
- ලිංගික අල්ලස් ජාවාරම: ලිංගික අල්ලස් ඉල්ලීම, නුසුදුසු ලිංගික අදහස් ප්‍රකාශ කිරීම සහ සේවා පරිසරය සතුරු තත්ත්වයකට පත් කිරීම අධිකාරියේ ඇතැම් ඉහළ නිලධාරීන් විසින් ක්‍රමානුකූලව සිදු කරනු ලැබේ.
- අවනත වන්නන්ට වරප්‍රසාද: චෝදනා ලත් නිලධාරීන්ගේ අංශවල සිටින සියලුම නියෝජ්‍ය අධ්යක්ෂවරියන් (DDs) සහ සහකාර අධ්යක්ෂවරියන් (ADs) කාන්තාවන් වන අතර, එම ඉහළ නිලධාරීන්ගේ අවශ්‍යතාවලට අවනත වන අයට උසස්වීම් සහ ස්ථානමාරු වලින් ආරක්ෂාව වැනි විශේෂ වරප්‍රසාද හිමිවන බවට චෝදනා එල්ල වේ.
- එරෙහි වන්නන්ට දඬුවම්: ඔවුන්ගේ නොමනා යෝජනාවලට අවනත නොවන නිලධාරිනියන්ට විවිධ දඬුවම් ලබා දෙමින් බිය හා බලපෑම් මත පදනම් වූ පරිසරයක් නිර්මාණය කර ඇත.
- රට හැර යන උගත් තරුණියන්: මෙම දරාගත නොහැකි පීඩනය හේතුවෙන් බොහෝ කාන්තා නිලධාරිනියන් දැඩි මානසික පීඩාවට පත්ව ඇති අතර, ඇතැමුන් රැකියාව හැර යාමටත්, තවත් සමහරුන් මෙම අපායෙන් මිදීම සඳහා රට පවා හැර යාමටත් පෙළඹී තිබේ.
පිටපත් ලැබුණු සභාපති සහ අධ්යක්ෂ ජනරාල් නිහඬ ඇයි?
මෙම ගැටලුවේදී නාගරික සංවර්ධන අධිකාරියේ ඉහළ පාලනාධිකාරියට “අපි මේ ගැන දැනුවත්ව සිටියේ නැත” යන නිදහසට කරුණ කිසිසේත් ඉදිරිපත් කළ නොහැකිය. මන්දයත්, හිටපු සැලසුම් නිලධාරිනිය විසින් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යොමු කළ මෙම පැමිණිලි ලිපියේ නිල පිටපත් (CC) නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වෙත සහ අධ්යක්ෂ ජනරාල්වරයා වෙත ද යොමු කර තිබෙන බැවිනි.
නම් කරන ලද සියලුම නිලධාරීන්ට එරෙහිව කඩිනම් නීතිමය පියවර ගෙන යුක්තිය ඉටු කරන ලෙසත්, සෙසු කාන්තාවන් මෙවැනි ලිංගික සූරාකෑම්වලින් ආරක්ෂා කරන ලෙසත් පැමිණිලිකාරිය ඉල්ලා සිටියදී, ඉන් එක් අයෙකුට පමණක් විමර්ශන සීමා කර අනෙක් දෙදෙනා (ලලිත් විජේරත්න සහ එම්.පී. රණතුංග) ආරක්ෂා කිරීම හරහා UDA පාලනාධිකාරියේ අපක්ෂපාතීත්වය බරපතළ ලෙස ප්‍රශ්න කෙරේ.
තරුණ රාජ්‍ය නිලධාරිනියන්ට සිය වෘත්තීය ගෞරවය රැකගෙන සේවය කිරීමට නොහැකිව රැකියාවෙන් සහ රටින් පවා පලා යාමට සිදුවන පරිසරයක් ප්‍රධාන පෙළේ රාජ්‍ය ආයතනයක් තුළ පවතින්නේ නම්, එය රාජ්‍ය සේවයේ සමස්ත කඩාවැටීමකි. පුද්ගලික හිතවත්කම් මත චූදිතයන් ආරක්ෂා කරමින් විමර්ශන යට ගැසීමට කවුරුන් හෝ උත්සාහ කරන්නේ නම්, පැමිණිලිකාරිය සිහිපත් කළ “Clean Sri Lanka” සංකල්පය හුදු දේශපාලන සටන් පාඨයකට පමණක් සීමා වනු ඇත.
තනතුරු, නිලතල හෝ ඉහළ සබඳතා නොතකා පැමිණිල්ලේ නම් සඳහන් සියලුම නිලධාරීන් සම්බන්ධයෙන් අපක්ෂපාතී සහ විනිවිදභාවයෙන් යුත් පරීක්ෂණයක් පැවැත්වීමට වගකිවයුතු අමාත්‍යාංශයත්, UDA පාලනාධිකාරියත් වහාම පියවර ගත යුතුය. එසේ නොවන්නේ නම්, මෙම අපරාධය යට ගැසීමට උදව් කරන ඉහළ පුටු ගැන ද රටට හෙළි කිරීමට සිදුවනු ඇත.



