Latest Posts

කෝටි 40ක් ගිලපු මදිවට තවත් කෝටි 40කට අත වනනවාද? 85,000ට අරන් ලක්ෂ 70ට විකුණන කොළඹ ගැන්ට්‍රි ජාවාරමට දෙසැම්බර් 03 ටෙන්ඩරයෙන් යළිත් කිරුළ පළඳවන්න සූදානම්!

ශ්‍රී ලංකාවේ වාණිජ හදවත වන කොළඹ නගරයේ ප්‍රචාරක අයිතීන් කුලී පදනම මත පැවරීම සඳහා කොළඹ මහ නගර සභාව කැඳවා ඇති නවතම ටෙන්ඩරයේ ලංසු භාරගැනීම එළැඹෙන 2026 දෙසැම්බර් 03 වැනිදා අවසන් වීමට නියමිතය. එහෙත් මෙම තීරණාත්මක ටෙන්ඩර් දිනය අබියසම, නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් සහ රජයේ තක්සේරුවකින් තොරව කොළඹ නගරයේ ගැන්ට්‍රි (Gantry) ප්‍රචාරක පුවරු දශක දෙකක් පුරා එක් පෞද්ගලික සමාගමක ඒකාධිකාරියට නතු කිරීම හේතුවෙන් නගර සභාවට රුපියල් කෝටි 40කට අධික දැවැන්ත මූල්‍ය පාඩුවක් සිදුව ඇති බවට පසුගිය නොවැම්බර් 19 වැනිදා ලංකාදීප පුවත්පත කළ හෙළිදරව්වත් සමඟ මුළු රටේම අවධානය යළිත් කොළඹ නගර සභාව දෙසට යොමුව තිබේ.

මෙම පසුබිම තුළ දෙසැම්බර් 03 වැනිදා අවසන් වන ටෙන්ඩරය හුදු සාමාන්‍ය පළාත් පාලන ගනුදෙනුවක් ලෙස සැලකිය නොහැකිය. කොළඹ නගරයේ වටිනාම පොදු අවකාශය යළිත් වරක් සොච්චම් මුදලකට ජාවාරම්කාර පෞද්ගලික ව්‍යාපාරිකයන් අතට පත් වීම වැළැක්වීමට නම්, ලංසු භාරගැනීමට හා ටෙන්ඩර් පිරිනැමීමට පෙර අදාළ දැන්වීම් පුවරු සඳහා වන සත්‍ය හා විද්‍යාත්මක අවම මිල ගණන් නගර සභාව විසින් වහාම ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කළ යුතුය.

UDA සහ RDA මිලටත් වඩා ඉහළ තක්සේරුවක් අනිවාර්ය වන්නේ ඇයි?

කොළඹ මහ නගර සභාවේ ප්‍රචාරක පුවරු ගනුදෙනුවේ ඇති බරපතළම ව්‍යුහාත්මක දුර්වලතාව මෙන්ම සංවිධානාත්මක සොරකමට පාර කපන ප්‍රධානම සිදුර වන්නේ, පොදු දේපළක සැබෑ වෙළෙඳපොළ වටිනාකම පදනම් කරගත් අවම ලංසු අගයක් (Minimum Base Price) තීරණය නොකර ටෙන්ඩර් කැඳවීමයි. රජයේ නිසි තක්සේරු ක්‍රියාවලිය හිතාමතාම මඟහරිමින් අවම මිලක් නියම නොකළ විට, ලංසුකරුවන්ට සොච්චම් මිල ගණන් ඉදිරිපත් කර කෝටි ගණනක් වටිනා රාජ්‍ය දේපළ අත්පත් කර ගැනීමට දොරටු විවර වේ.

මෙම මූල්‍ය අසාධාරණයේ තරම රාජ්‍ය ආයතන අතර මිල ගණන් සැසඳීමේදීම පැහැදිලිව තහවුරු වේ. කොළඹ මහ නගර සභාව එක් ගැන්ට්‍රි පුවරුවක් වෙනුවෙන් අය කරන්නේ රුපියල් 85,000ක් වැනි සොච්චම් මුදලක් වුවද, නගර සභා සීමාවෙන් පිටත මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) එක් ගැන්ට්‍රි පුවරුවක් අලෙවි කරන්නේ රුපියල් ලක්ෂ 30කටය; එය නගර සභාව ලබා ගන්නා ගාස්තුව මෙන් තිස්පස් ගුණයකටත් වඩා වැඩි අගයකි. අනෙක් පසින්, නගර සභාවට රුපියල් 85,000ක් ගෙවා පුවරු ලබා ගන්නා පෞද්ගලික සමාගම එම පුවරුවක් වෙළෙඳපොළේ අලෙවි කරන්නේ රුපියල් ලක්ෂ 60 සිට 70 දක්වා මිලකට වන අතර, එය නගර සභාවට ගෙවන මුදල මෙන් හැත්තෑ ගුණයේ සිට අසූදෙගුණය දක්වා වන අසාමාන්‍ය ලාභයකි.

දිනකට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් සහ වාහන ගැවසෙන, රටේ සියලු ප්‍රධාන වාණිජ බැංකු, සමාගම් මූලස්ථාන සහ ඉහළම ක්‍රය ශක්තියක් සහිත පාරිභෝගිකයන් ඒකරාශී වන කොළඹ නගරයේ ප්‍රචාරක පුවරුවක වටිනාකම, නගර සභා සීමාවෙන් පිටත මාර්ග සංවර්ධන අධිකාරියේ (RDA) හෝ නාගරික සංවර්ධන අධිකාරියේ (UDA) කලාපවල පුවරුවකට වඩා බෙහෙවින් ඉහළ විය යුතුය.

එවැනි තත්ත්වයක් තුළ කොළඹ මහ නගර සභාව එක් පුවරුවකට රුපියල් 85,000ක් ලබාගෙන, එම පුවරුවම පෞද්ගලික සමාගමක් විසින් ලක්ෂ 60-70කට අලෙවි කිරීමට ඉඩ හැරීම යනු කොළඹ වරිපනම් බදු ගෙවන ජනතාවගේ මුදල් දැනුවත්වම පෞද්ගලික සාක්කුවලට හරවා යැවීමකි. එබැවින් දෙසැම්බර් 03 ටෙන්ඩරයේදී UDA සහ RDA මිල ගණන් නිල මිනුම්දණ්ඩක් ලෙස සලකා, ඊටත් වඩා ඉහළ සත්‍ය අවම මිලක් නගර සභාව විසින් පූර්වයෙන්ම ප්‍රකාශයට පත් කළ යුතු අතර, ටෙන්ඩරය හිමිවිය යුත්තේ එම සත්‍ය තක්සේරුවට වඩා වැඩි ඉහළම ලංසුව ඉදිරිපත් කරන විනිවිදභාවයෙන් යුත් ආයතනයට පමණි.

දශක දෙකක ගැන්ට්‍රි ඒකාධිකාරිය සහ රුපියල් කෝටි 40ක පාඩුව

නිවැරදි තක්සේරුවකින් තොරව කටයුතු කිරීමේ භයානක විපාකය 2010 ගැන්ට්‍රි ගිවිසුමෙන් මැනවින් ඔප්පු වේ. 2010 වසරේදී කැඳවූ ටෙන්ඩරයකින් වසර 08ක කාලයක් සඳහා ගැන්ට්‍රි පුවරු පවත්වාගෙන යාම පෞද්ගලික සමාගමකට පැවරුණු අතර, 2010 සැප්තැම්බර් 11 අත්සන් කළ එම ගිවිසුම 2010 අගෝස්තු 11 සිට බලපැවැත්විණි.

රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අමු අමුවේ උල්ලංඝනය කරමින්, මුල් ගිවිසුම අවසන් වීමටත් පෙර 2016 වසරේ 25 වැනිදා කිසිදු නව ටෙන්ඩර් කැඳවීමකින් තොරව එම කොන්ත්‍රාත්තුව 2030 වසර දක්වා දීර්ඝ කර තිබේ.

මේ හරහා ගැන්ට්‍රි පුවරු 48ක් සඳහා නගර සභාවට ලැබෙන මුළු ආදායම රුපියල් ලක්ෂ 40.8කට සීමා වෙද්දී, RDA මිලට (ලක්ෂ 30 බැගින්) පුවරු 48හි වටිනාකම රුපියල් කෝටි 14.4ක් වන අතර, පෞද්ගලික සමාගමේ විකුණුම් මිලට (ලක්ෂ 60-70 බැගින්) එහි වාණිජ වටිනාකම රුපියල් කෝටි 28.8 සිට කෝටි 33.6 දක්වා ඉහළ යයි. මේ අනුව නගර සභාවට අහිමි වූ සමස්ත ආදායම රුපියල් කෝටි 40 ඉක්මවන බව නාගරික මන්ත්‍රීවරු ගණන් බලා තිබේ. 2017 දෙසැම්බර් 08 දිනැති අංක 331 දරන පාර්ලිමේන්තු වාර්තාවෙන් සහ 2019 පෙබරවාරි 21 දිනැති අංක 57 දරන පාර්ලිමේන්තු වාර්තාවෙන්ද මෙම ආදායම් පාඩුව පිළිබඳව දැඩි ලෙස අනතුරු අඟවා තිබුණද බලධාරීන් සිටියේ නිද්‍රාවේය. එපමණක් නොව, සාමාන්‍ය ගැන්ට්‍රි පුවරු සඳහා අත්සන් කළ ගිවිසුමක තාක්ෂණික පිරිවිතර අනවසරයෙන් වෙනස් කරමින් ඒවා LED ඩිජිටල් පුවරු බවට පරිවර්තනය කර ඇති අතර, මාර්ගවලට ඉහළින් දීප්තිමත් ආලෝක දර්ශන ප්‍රදර්ශනය කිරීම රියදුරන්ගේ අවධානය බිඳ දමමින් මෝටර් රථ ආඥාපනත උල්ලංඝනය කිරීමක් බවටද චෝදනා එල්ල වේ.

කොළඹ අහස බෙදා ගන්නා සමාගම් සහ අධිකරණයට ගිය ටෙන්ඩර් යුද්ධය

පොදු ලේඛන සහ මාධ්‍ය වාර්තා පිරික්සීමේදී කොළඹ නගරයේ ගැන්ට්‍රි සහ LED ප්‍රචාරක ක්ෂේත්‍රයේ ප්‍රධාන පාර්ශ්වයන් කවුරුන්ද යන්න පැහැදිලිව හඳුනාගත හැකිය. 2012 ඩේලි එෆ්.ටී. සහ 2015 ඩේලි මිරර් වාර්තාවලට අනුව, කොළඹ නගරය පුරා ගැන්ට්‍රි හා කැන්ටිලීවර් පුවරු මෙන්ම නිවාස අංක තහඩු ව්‍යාපෘතියට හිලව් වශයෙන් ගැන්ට්‍රි භාවිත කිරීමේ හවුල්කරු ලෙස දීර්ඝ කාලීනව කටයුතු කර ඇත්තේ Richardson Outdoor (Pvt) Ltd ආයතනයයි. 2007 සිට කොළඹ මහ නගර සභාව සමඟ ගැන්ට්‍රි ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බවත්, 2019 දී ඩිජිටල් LED ගැන්ට්‍රි හඳුන්වා දුන් බවත් එම සමාගම සිය නිල වෙබ් අඩවියේම සඳහන් කර තිබේ. කෙසේ වෙතත් 2010 ගිවිසුමේ නිල පාර්ශ්වකරු කවුරුන්ද යන්න නගර සභාව වහාම රටට හෙළි කළ යුතුය.

අනෙක් පසින්, 2022–2026 කාලය තුළ නගර සභාවේ දැන්වීම් පුවරු ටෙන්ඩර් සඳහා තරග වදින ප්‍රධාන ආයතන ත්‍රිත්වයක් ලෙස Richardson Outdoor (Pvt) Ltd, Emerging Media (Pvt) Ltd සහ Hammer BTL (Pvt) Ltd හඳුනාගත හැකිය. නගර සභාවේ ටෙන්ඩර් කොන්දේසිවල ඇති අපැහැදිලි බව කෙතරම් අර්බුදකාරීද යන්න ME/ME/ML/34/2025 ටෙන්ඩර් ගැටුමෙන් මනාව පැහැදිලි වේ.

බස් නැවතුම්පොළ 128ක් හා දැන්වීම් පුවරු 250ක් නවීකරණයට අදාළ රුපියල් මිලියන 400 ඉක්මවන එම ටෙන්ඩරය 2026 ජූලි 07 වැනිදා Emerging Media සහ Hammer BTL ඒකාබද්ධ ව්‍යාපාරයට පිරිනැමුණද, මිලියන 75.75ක ලංසුවට අමතරව භූමි කුලිය සමඟ මිලියන 102.95ක් ගෙවීමේ මතභේදය මත දින 7ක් තුළ කාර්ය සාධන බැඳුම්කරය ඉදිරිපත් නොකිරීම නිසා එය අවලංගු විය. එහෙත් කොන්ත්‍රාත්තුවක් පැහැර හරින ආයතනයකට යළි ලංසු තැබීම තහනම් කරන 10.1(2) වගන්තිය තිබියදීත්, අදාළ සමාගම් අසාදු ලේඛනගත (Blacklist) කර නොමැති බව පවසමින් 2026 අගෝස්තු 13 වැනිදා නගර සභාවේ මුදල් ස්ථාවර කමිටුව එම ආයතනවලටම යළි ලංසු තැබීමට අවසර නිර්දේශ කර තිබේ. ඊට සමගාමීව Richardson Outdoor සහ Emerging Media සමාගම් මැදිහත් වූ CA/WRIT/752/2025 සහ CA/WRIT/47/2026 යන නඩු අභියාචනාධිකරණය හමුවේ විභාග වෙමින් පවතී.

ටෙන්ඩර් ප්‍රමාදය නගර සභාවට “සුදු අලියෙකු” වෙද්දී, අඩු ලංසුකරුට “රන් ආකරයක්” වන්නේ කෙසේද?

මෙම සමස්ත අර්බුදයේ ඇති භයානකම යටිපෙළ මතුවන්නේ කොළඹ නගරයේ භූමි යථාර්ථය දෙස බැලීමේදීය. මාස ගණනාවක් තිස්සේ නීතිමය හා පරිපාලනමය ගැටලු මැද ටෙන්ඩර් ක්‍රියාවලිය දිගින් දිගටම කල් යමින් පැවතියද, කොළඹ ප්‍රධාන මාර්ග හරහා ඇති ගැන්ට්‍රි පුවරු එකදු දිනයකටවත් අක්‍රීය වී නොමැත. ඒවා අදටත් දිනපතා දැවැන්ත වෙළෙඳ දැන්වීම් ප්‍රදර්ශනය කරමින් සක්‍රීයව ක්‍රියාත්මක වෙයි.

විධිමත් ටෙන්ඩරයක් අවසන් වන තුරු ගතවන සෑම දිනයක්ම සෘජුවම වාසිදායක වන්නේ පැරණි සොච්චම් ගාස්තුව යටතේ පුවරු තවමත් සිය භාරයේ තබාගෙන සිටින පෞද්ගලික සමාගමටය. තරගකාරී ලංසු හරහා නිවැරදි වෙළෙඳපොළ වටිනාකම නගර සභාවට ගෙවීමේ වගකීමෙන් මිදී, ලක්ෂ හැට හැත්තෑවක අධික වාණිජ ආදායමක් නොකඩවා සාක්කුවට දමා ගැනීමට මෙම ප්‍රමාදය ඔවුන්ට නොමිලේ ලැබුණු රන් අවස්ථාවක් වී තිබේ. අනෙක් පසින්, කොළඹ මහ නගර සභාවට සහ බදු ගෙවන මහජනතාවට මෙම පරිපාලන ප්‍රමාදය පත්ව ඇත්තේ කිසිදු සාධාරණ ප්‍රතිලාභයක් නොලැබෙන, නඩුහබ හා පරිපාලන වියදම් පමණක් ගිල දමන සුදු අලියෙකු බවටය.

පොදු දේපළ මත යැපෙන සුදු අලියෙකු මෙන් කිසිදු තරගකාරී කැපවීමකින් තොරව අඩු ලංසුවේ වාසියෙන් අසීමිත ලාභය දිනපතාම පෞද්ගලික ආයතනයක් විසින් නෙළා ගන්නා විට, මෙම ටෙන්ඩර් කල් දැමීම හුදු නිලධාරී අකාර්යක්ෂමතාවක්ද නැතහොත් අදාළ සමාගමට තවදුරටත් ලාභ ඉපයීමට ඉඩ සලසා දෙන සැලසුම්සහගත ප්‍රමාදයක්ද යන බරපතළ සැකය මහජනතාව තුළ මතු වීම වැළැක්විය නොහැකිය.

විනිවිදභාවයේ පරීක්ෂණය සහ බලධාරීන්ගේ නිහඬතාව

පසුගිය පාලන සමයේදී ටෙන්ඩර් නීති උල්ලංඝනය කිරීමට දායක වූ ඇතැම් නිලධාරීන් වත්මන් මාලිමා පාලනය යටතේද එම අංශවලම රැඳී සිටිමින් පැරණි ක්‍රමවේදයම ඉදිරියට ගෙන යන බවට කොළඹ මහ නගර සභාවේ විපක්ෂ නායක රිසා සරුක් ඇතුළු මන්ත්‍රීවරු චෝදනා කරති.

මේ පිළිබඳව මාධ්‍ය කළ විමසීම්වලදී කොළඹ නාගරික කොමසාරිස් ඩී. එස්. රෝහණ වගකීම අදාළ නිලධාරීන් වෙත පවරා ඇඟ බේරා ගෙන ඇති අතර, ආයතනික සංවර්ධන අංශයේ අධ්‍යක්ෂවරිය පවසා ඇත්තේ තොරතුරු දැනගැනීමේ පනත (RTI) හරහා ටෙන්ඩර් තොරතුරු ඉල්ලුම් කරන ලෙසයි. නගරාධිපති කාර්යාලයේ 0112 691849 දුරකථන අංකයද මාධ්‍ය විමසීම් හමුවේ ගොළුවත රකී. ගෙවීම් පද්ධති ඩිජිටල්කරණය කිරීමට (CPD/24/0002/2026) උත්සාහ කළද, පුවරු සඳහා අය කරන මූලික කුලිය වෙළෙඳපොළ වටිනාකමෙන් 2%කටත් වඩා අඩු නම් එම ඩිජිටල්කරණයෙන් මහජනතාවට ඇති ඵලය කුමක්ද?

මාලිමා ආණ්ඩුව බලය ලබාගෙන දැන් වසර දෙකකුත් ගෙවී අවසන්ය. එළැඹෙන 2026 දෙසැම්බර් 03 වැනිදා අවසන් වන ටෙන්ඩරය වත්මන් පාලනයේ දූෂණ විරෝධී ප්‍රතිපත්තිය උරගා බලන ප්‍රබලතම පරීක්ෂණයයි. ප්‍රචාරක අයිතීන් කිසිදු ආයතනයකට පිරිනැමීමට පෙර UDA සහ RDA මිල ගණන්වලට වඩා ඉහළ සත්‍ය හා විද්‍යාත්මක අවම මිල ගණන් ලේඛනයක් වහාම ප්‍රසිද්ධ කළ යුතු අතර, 2010–2030 ගැන්ට්‍රි ගිවිසුම වහාම නීතිමය විගණනයකට ලක් කර නගර සභාවට අහිමි වූ රුපියල් කෝටි 40 අයකර ගත යුතුය. එමෙන්ම ටෙන්ඩර් ප්‍රමාදයට මුවා වී ක්‍රියාත්මක වන අඩු ගාස්තු ජාවාරම නතර කර, නිවැරදි අවම තක්සේරුවට වඩා වැඩි ඉහළම ලංසුව ඉදිරිපත් කරන ආයතනයට පමණක් ටෙන්ඩරය ලබා දීමට පියවර නොගන්නේ නම්, දේශපාලන පාලනයන් වෙනස් වුවද කොළඹ අහස කොල්ලකෑමේ ඒකාධිකාරී සංස්කෘතිය තවත් දශක ගණනාවක් නිරුපද්‍රිතව පවතිනු ඇත.

Latest Posts

spot_imgspot_img