නාවල ‘මේපල් ලංකා’ කල්ලිය අධිකරණයට!
කැනඩාවේ ස්ථිර පදිංචිය (PR) සහ රැකියා ලබාදෙන බව පවසා මෙරට පුද්ගලයින්ගෙන් රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කළ සංවිධානාත්මක ජාවාරමක තොරතුරු මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශය (SCIB) මගින් අලුත්කඩේ අංක 08 ප්රධාන මහේස්ත්රාත් අධිකරණය වෙත වාර්තා කර තිබේ.
නාවල පාරේ ලෝටස් ගොඩනැගිල්ලේ පවත්වාගෙන ගොස් පසුව රාජගිරිය ප්රදේශයට රැගෙන ගොස් ඇති බව කියන ‘මේපල් ලංකා කන්සල්ටන්සි’ (Maple Lanka Consultancy Pvt Ltd) නැමැති ආයතනයක්, එහි පාකිස්තාන ජාතික අධ්යක්ෂවරියක සහ විදේශගත පුද්ගලයින් පිරිසක් එක්ව මෙම මහා පරිමාණ මූල්ය වංචාව සිදුකර ඇති බවට අධිකරණය හමුවේ කරුණු අනාවරණය වී ඇත.
ජා-ඇල ඒකල ප්රදේශයේ පදිංචිකරුවෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, කැනඩාවේ ගණකාධිකාරී රැකියාවක් සහ ස්ථිර පදිංචිය ලබාදෙන බව පවසා රුපියල් අනූ හතර ලක්ෂ හැත්තෑ හත්දහස් තුන්සිය අසූපහකට අධික (රු. 9,477,383.50) මුදලක් 2022 වසරේ සිට අවස්ථා ගණනාවකදී මොවුන් විසින් ලබාගෙන තිබේ.
අධිකරණ වාර්තාවන්ට අනුව, අදාළ මුදල් යුනියන් බැංකුවේ නාවල ශාඛාවේ පවත්වාගෙන ගිය ගිණුමකට බැර කරවාගෙන ඇති නමුත්, පොරොන්දු වූ පරිදි කිසිදු රැකියාවක් හෝ විදේශගත වීමක් ලබාදීමට මෙම ආයතනය අපොහොසත් වී ඇත. පසුව සිදුකළ සොයා බැලීම්වලදී මෙම ආයතනය හරහා කිසිදු අයෙකු විදේශගත කර නොමැති ව්යාජ ආයතනයක් බව තහවුරු වීමත් සමග, පැමිණිලිකරු සිය ගිවිසුම අවලංගු කර මුදල් ආපසු ලබාගැනීමට පියවර ගෙන ඇත.
ඒ අනුව මුදල් ආපසු ගෙවීම සඳහා නොතාරිස්වරයෙකු ඉදිරියේ අවලංගු කිරීමේ එකඟතා ගිවිසුමක් අත්සන් කර ඇති අතර, ඊට කැනඩාවේ මොන්ට්රියල් නුවර ලිපිනයක් (4891 Rue Vézina, Suite 10, Montréal, Canada) සහිත සෆ්රිනා රහමාන් (Sabrina Rahman) නැමැති අධ්යක්ෂවරියක සහ හුසේන් රහමාන් නැමැත්තෙකු පාර්ශ්වකරුවන් ලෙස අත්සන් තබා තිබේ.
එහෙත් එම එකඟතාවයද කඩකරමින් රුපියල් ලක්ෂ 27ක මුදලක් පමණක් කොටස් වශයෙන් ගෙවා, ඉතිරි මුදල් පියවීම සඳහා ලබාදුන් රුපියල් ලක්ෂ 20 ක (රු. 2,000,000/-) චෙක්පතක්ද බැංකුවට ඉදිරිපත් කළ පසු ගෙවීම් අත්හිටුවීමට (Stop Payment) සලස්වා, අවසානයේ රුපියල් හැට හත් ලක්ෂයක (රු. 6,700,000/-) මුදලක් මුළුමනින්ම වංචා කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෙම වංචනික ආයතනයේ ප්රධාන අධ්යක්ෂවරිය ලෙස පෙනී සිට ඇත්තේ ෆර්යාල් කාලිඩ් අබ්බාසි (Faryal Khalid Abbasi) නැමැති පාකිස්තාන ජාතික කාන්තාවකි. ඇය මෙරට පෞද්ගලික අංශයේ වීසා මත රැඳී සිටිමින් මෙම ආයතනය පවත්වාගෙන ගොස් ඇති අතර, ඇයගේ පියා වන කාලිඩ් මුනිම් අබ්බාසි (Khalid Munim Abbasi) නැමැත්තා වෛද්ය ප්රතිකාර වීසා (Medical Visa) මඟින් මෙරට රැඳී සිටිමින් මුදල් හුවමාරු කිරීම් සඳහා සිය බැංකු ගිණුම් ලබාදී ඇති බවටද තොරතුරු හෙළිව තිබේ.
විශේෂයෙන්ම ප්රධාන සැකකාරිය වන පාකිස්තාන ජාතික ෆර්යාල් කාලිඩ් අබ්බාසිගේ විදේශ ගමන් බලපත්රය 2023 මැයි 08 වන දින කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපළේදී ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ විමර්ශන අංශය මගින් රඳවාගෙන, විමර්ශන සඳහා පෙනී සිටින ලෙස නියෝග නිකුත් කර තිබූ පසුබිමක්ද අනාවරණය වේ. ඇය පාකිස්තාන පොලිසිය මඟින්ද විමර්ශනය කරනු ලබන තැනැත්තියක බවට සැක කෙරේ.
කිසිදු නිල වෙබ් අඩවියක් හෝ පැහැදිලි සමාජ මාධ්ය තොරතුරක් නොමැති මෙම සැකකටයුතු ආයතනය, පසුව රාජගිරිය ශ්රී ජයවර්ධනපුර මාවතේ පිහිටි ගොඩනැගිල්ලක් වෙත සිය කාර්යාල පරිශ්රය මාරු කරමින් මෙරට පුද්ගලයින් මුළා කරමින් සිට ඇති බවට විමර්ශන නිලධාරීන් සැක පළ කරයි.
ලංකා දණ්ඩ නීති සංග්රහයේ 386 (සාපරාධී සාවද්ය පරිහරණය), 389 (සාපරාධී විශ්වාසය කඩකිරීම) සහ 403 (වංචාව) යන වගන්ති යටතේ මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශය අධිකරණයට කරුණු වාර්තා කර ඇත. ඒ අනුව අදාළ ජාවාරමට සම්බන්ධ යුනියන් බැංකුවේ සහ කොමර්ෂල් බැංකුවේ ගිණුම් වාර්තා, මැන්ඩේට් පත්ර මෙන්ම සැකකරුවන් භාවිත කළ ඩයලොග් සහ මොබිටෙල් දුරකථන කුළුණු වාර්තා කඩිනමින් පොලිසියට ලබාදෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත්රාත්වරයා අදාළ ආයතන වෙත නියෝග නිකුත් කර තිබේ.



