අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසම මඟින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂට, හෘදයේ ධමනි අවහිරතා පෙන්වා ‘සුවිශේෂී කරුණු’ යටතේ කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයෙන් ඇප ලැබී තිබේ. ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ ලක්ෂයක මුදල් ඇපයක් මත ඇයව මෙසේ මුදාහැරීමට නියෝග කෙරුණේ, සාමාන්ය සිරකරුවෙකුට සිහිනෙන්වත් නොලැබෙන අතිසුඛෝපභෝගී වරප්රසාද මාලාවක් රෝහල තුළ විඳිමින් සිටියදීමය!

‘සිරිලිය සවිය’ නමින් මහජන මුදල් සාපරාධී ලෙස සාවද්ය පරිහරණය කළ බවට බරපතළ චෝදනා එල්ල වී සිටින ශිරන්ති රාජපක්ෂට ඇප ලබාදීම පිටුපස ඇති සැබෑ නිරුවත සහ අධිකරණයේදී හෙළි වූ තිත්ත ඇත්ත මෙන්න:
රෝහලේ රජ සැප විඳිමින් ‘ඇප’ ඉල්ලූ නාටකය!
විත්තියේ නීතිඥවරුන් අධිකරණය හමුවේ බෙරිහන් දුන්නේ ශිරන්ති රාජපක්ෂගේ හෘදයේ වම් ධමනිය 80%-90%ක් අවහිර වී ඇති බැවින් හදිසි බයිපාස් සැත්කමක් අවශ්ය බවත්, ජීවිත අවදානම සලකා ඇප දිය යුතු බවත්ය.
එහෙත් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ එම නාටකය පතුරු ගැසුවේ සෘජුවම ප්රශ්න කරමිනි:
“මේ සැකකාරිය ඉන්නේ හිරගෙදරක නෙවෙයි; ජාතික රෝහලේ! විශේෂඥ වෛද්යවරුන් 14 දෙනෙකුගෙන් යුත් දැවැන්ත වෛද්ය බලඇණියක් ඇයව බලාගන්නවා. ඇප දුන්නා කියලා මේ සැකකාරියට වෙන ප්රතිකාරයක් ලැබෙනවද? නෑ! කොහොමත් ඉන්නේ රෝහලේ නම්, රෝහලින් එළියට යන්න බැරි නම්, කොහොමද මේක ‘සුවිශේෂී තත්ත්වයක්’ වෙන්නේ? බන්ධනාගාරයේ තියලා ප්රතිකාර නොකර හිටියා නම් තමයි සුවිශේෂී වෙන්නේ!”
නමුත් අවසානයේ රජයේ නීතිඥවරුන් නැගූ එම තාර්කික විරෝධය පසෙකලා, වෛද්ය වාර්තා පදනම් කරගනිමින් ඇයට ඇප නියම විය.
පුතාගේ උපන්දිනයට ලක්ෂ 2000ක MRI ගසාකෑම: අලුත්ම හෙළිදරව්ව!
ඇප නාටකයට එහා ගිය මහා පරිමාණ ගසාකෑමක තොරතුරුද අද අධිකරණයේදී රජයේ නීතිඥවරයා විසින් නිරාවරණය කරනු ලැබීය.
- 2014 උපන්දින පාර්සලය: 2014 වසරේදී ශිරන්ති රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂගේ උපන්දිනය වෙනුවෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලට පිරිනමා ඇත්තේ රුපියල් ලක්ෂ 2000ක් (කෝටි 20ක්) වටිනා MRI යන්ත්රයකි.
- නොමිලේ ලැබුණු ආධාරයට බැංකුවෙන් බිල් දැමීම: පුදුමය වන්නේ, එම යන්ත්රය රෝහලට පරිත්යාගයක් ලෙස නොමිලේ ලැබී තිබියදීත්, CT ස්කෑනරයක් දෙන බව මවාපාමින් අදාළ බැංකු ගිණුමෙන් මුදල් වංචනිකව ලබාගෙන තිබීමයි!
දරුවන්ගේ රෝහලට ලැබුණු ආධාරය පවා දේශපාලන බලය සහ පවුලේ ලකුණු දමාගැනීමට යොදාගනිමින් කළ මෙම මුදල් ගැහිල්ලේ තරම දැන් අධිකරණය හමුවේම හෙළිදරව් වී හමාරය.
ඇප ලැබුණත් නීතියේ පාඩම අවසන් නැත!
විදේශ ගමන් තහනම් කරමින් ශිරන්ති රාජපක්ෂට ඇප ලැබුණද, ‘සිරිලිය සවිය’ පිටුපස සැඟවුණු මහා මූල්ය දූෂණයේ ගොනුව තවමත් විවෘතව පවතී. බලයේ සිටියදී රජ සැප විඳි ප්රභූ පැලැන්තිය, නීතිය ඉදිරියට ආ සැණින් එක රැයින් ‘අසාධ්ය රෝගීන්’ බවට පත්වන ලංකාවේ සුප්රකට නාට්යයේ තවත් එක් ජවනිකාවක් අදත් වේදිකාගත විය.
ප්රශ්නය වන්නේ, හෘද රෝගී වාර්තාවලින් මෙවර බේරුණද ජනතාවගෙන් ගසාකෑ කෝටි ගණනක මහජන ධනයට දෙන උත්තරය කුමක්ද යන්නයි!



