නීති අධ්යක්ෂ ධුරය පමණක් නොව වාණිජ මෙහෙයුම් අධ්යක්ෂ ධුරය සඳහාත් සුදුසුකම් සපුරා අයදුම් කළ දැවැන්ත පිරිසක් අන්දවා, හොර රහසේම රාධිකාට බලය පවරාගත් හැටි එළියට!
ලෝකයේ පිළිගත් කිසිදු මූල්ය කලාපයක මෙවැනි පරස්පර සහ ගැටුම්කාරී පරිපාලන ක්රමවේදයක් අසන්නටවත් නොලැබේ. වාණිජ මෙහෙයුම් අධ්යක්ෂවරිය ලෙස ගනුදෙනු, බලපත්ර සහ වාණිජ තීන්දු තීරණ ගන්නේත් ඇයමය; එම තීන්දුවල නෛතික වලංගුභාවය තහවුරු කරමින් නීති කටයුතු අධ්යක්ෂවරිය ලෙස නිල මුද්රාව තබා අත්සන් තබන්නේත් ඇයමය! කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව තුළ රාධිකා ඔබේසේකර නැමැති තනි නිලධාරිනියක් වටා ගොඩනගා ඇති මේ විකාරරූපී ද්විත්ව භූමිකාව පාර්ලිමේන්තු රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී (COPF) පසුගියදා සවිස්තරාත්මකව හෙළිදරව් විය.
රාධිකාගේ “සුපිරි බලතල”: ව්යාපාරයත් ඇය… නීතියත් ඇය!

ආචාර්ය හර්ෂ ද සිල්වාගේ ප්රධානත්වයෙන් රැස්වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී හෙළිවූ කරුණු අනුව, වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ වාණිජ මෙහෙයුම් අධ්යක්ෂවරිය වන රාධිකා ඔබේසේකරටම එහි නීති කටයුතු අධ්යක්ෂ ධුරයේ අත්සන් තැබීමේ පූර්ණ බලතලද පවරා දී තිබේ.
ජාත්යන්තර මූල්ය කලාපයක වාණිජ අභිලාෂයන් සහ නෛතික අනුකූලතාවය (Legal Compliance) යනු එකිනෙකා පරීක්ෂා කරමින් තුලනය විය යුතු (Checks and Balances) ප්රධාන බලකණු දෙකකි. එහෙත් වරාය නගරයේ සිදුව ඇත්තේ කුමක්ද?
- තමන්ගේ වාණිජ තීන්දු තමන්ම සහතික කරගැනීම: වාණිජ මෙහෙයුම් අධ්යක්ෂවරිය ලෙස තමන් ගන්නා ඕනෑම තීන්දුවකට කිසිදු ස්වාධීන අභ්යන්තර නීතිමය ප්රශ්න කිරීමකින් තොරව, තමන් විසින්ම නීති අධ්යක්ෂවරිය ලෙස අත්සන් තබා “නීත්යානුකූලයි” කියා සහතික කරගැනීමේ අසීමිත බලයක් ඇය අතට පත්ව තිබේ.
- නීති අධ්යක්ෂ ධුරය හකුලාගත්තේ රාධිකා වෙනුවෙන්ද? පෙර පැවති කොමිසම විසින් මෙම තනතුරු දෙක සඳහාම වෙන වෙනම විධිමත් ලෙස අයදුම්පත් කැඳවා තිබියදී, නව කොමිසම පත්වූ වහාම පූර්ණකාලීන නීති අධ්යක්ෂවරයෙකු බඳවා ගැනීමේ ක්රියාවලිය හදිසියේ අත්හිටවූයේ ඇයි? ඒ පුරප්පාඩුවට පිටස්තර ස්වාධීන නීතිඥවරයෙකු නොගෙන රාධිකා ඔබේසේකරටම එම බලතල ලියා දුන්නේ කිනම් වුවමනාවකටද?
- නීතිපතිගේ කරපිටින් ගිය සාධාරණීකරණය: රාධිකාට නීති පසුබිමක් ඇති බැවින් ඇය නීතිපති දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධීකරණය කරනු ඇතැයි කියමින් කොමිසමේ සභාපති හර්ෂ අමරසේකර දැරූ උත්සාහය COPF හමුවේ දැඩි ප්රශ්න කිරීමට ලක්විය. නීතිපති දෙපාර්තමේන්තුව මත මෙවන් කඩිනම් ආයෝජන කලාපයක් දිගින් දිගටම යැපීමේ ප්රායෝගික නොවන බව පෙන්වා දෙමින් පාර්ලිමේන්තු මන්ත්රී ශානක්යන් රාසමාණික්කම් උපහාසාත්මකව ප්රකාශ කළේ, “රටේ හැම රාජ්ය ආයතනයකටම නීතිපතිගෙන් උත්තර එන්න ප්රමාද වෙද්දී, වරාය නගරයට විතරක් ක්ෂණික සේවා ලැබෙනවා නම් ඒ ක්රමය රටේ අනෙක් හැම එකටමත් ලැබෙනවා නම් කොච්චර හොඳද?” යනුවෙනි.
තනතුරු දෙකටම අයදුම් කළ සුදුසුකම්ලත් ප්රවීණයන් අන්දවා හොර පාරෙන් ගිය හැටි

මේ පිළිබඳව මුල්වරට කරුණු වාර්තා වීමත් සමඟ, නීති කටයුතු අධ්යක්ෂ ධුරයට මෙන්ම වාණිජ මෙහෙයුම් අධ්යක්ෂ ධුරයටද අයදුම් කර සිටි ඉහළම සුදුසුකම් සහිත වෘත්තිකයන් විශාල පිරිසක් HariDeshayaLk සමඟ සෘජුව සම්බන්ධ වෙමින් මේ පිටුපස වූ තවත් බරපතල අක්රමිකතාවක් අනාවරණය කළහ.
- දැන්වීම් මඟින් ඉල්ලා තිබූ ඉහළම සුදුසුකම් සපුරා අයදුම් කිරීම: කොමිසම විසින් නිල පුවත්පත් දැන්වීම් සහ චක්රලේඛ මඟින් නීති කටයුතු අධ්යක්ෂ ධුරය මෙන්ම වාණිජ මෙහෙයුම් අධ්යක්ෂ ධුරය සඳහාද ඉල්ලා තිබූ ඉහළම අධ්යාපනික හා වෘත්තීය නිර්ණායක සම්පූර්ණ කළ ජ්යෙෂ්ඨ නීතිඥවරුන්, ආයතනික නීති විශේෂඥයන් සහ ජාත්යන්තර මට්ටමේ වාණිජ කළමනාකරණ ප්රවීණයන් රැසක් විධිමත් පරිදි අයදුම්පත් ඉදිරිපත් කර තිබේ.
- කිසිදු ප්රතිචාරයක් නොදී අයදුම්කරුවන් මුළාවේ දැමීම: මෙම තනතුරු දෙකටම අයදුම් කළ කිසිදු සුදුසුකම්ලත් අයදුම්කරුවෙකුට බඳවා ගැනීමේ ඉදිරි පියවරක්, සම්මුඛ පරීක්ෂණයක් හෝ අයදුම්පත්වල ප්රගතියක් පිළිබඳව කොමිසමෙන් කිසිදු දැනුම්දීමක් කර නැත. ඒ හේතුවෙන් ඔවුන් මෙතෙක් කල් සිතා සිට ඇත්තේ මෙම තනතුරු දෙකටම අදාළ බඳවා ගැනීමේ ක්රියාවලිය තවමත් අවසන් වී නොමැති බව හෝ තාවකාලිකව කල් දමා ඇති බවයි.
- තනතුරු දෙකෙහිම බලතල රාධිකාට දුන් හැටි දැනගත්තේ ප්රවෘත්තිය පළවීමෙන් පසු: දැන්වීම් දමා නිසි නිර්ණායක සපුරාලූ සුදුසුකම්ලත් අයදුම්කරුවන් විශාල පිරිසක් පැත්තකට කර, නීති කටයුතු අධ්යක්ෂ ධුරය හකුලා දමා, එම නීතිමය බලතල සහ වරප්රසාදද වාණිජ මෙහෙයුම් අධ්යක්ෂ ධුරය දැරූ රාධිකා ඔබේසේකරටම හොර රහසේම පවරා දී ඇති බව අදාළ තනතුරු දෙකටම අයදුම් කළ වෘත්තිකයන් දැනගෙන ඇත්තේ මාධ්ය මඟින් මේ පිළිබඳව හෙළිදරව් වීමෙන් පසුවය!
රටේ ඉහළම සුදුසුකම්ලත් වෘත්තිකයන් දහස් ගණනක් බලා සිටියදී, රජයේ විධිමත් බඳවා ගැනීමේ පටිපාටිය සහ විනිවිදභාවය මුළුමනින්ම උල්ලංඝනය කරමින්, තනි පුද්ගලයෙකුට ගැලපෙන ලෙස නීති සහ පරිපාලන රාමු කපාකොටා සකස් කර ඇත්තේ කාගේ බලපෑම මතද යන්න මෙයින් මනාව පැහැදිලි වේ.
HariDeshayaLk විමසු අවස්ථාවේදී අධ්යක්ෂ ජනරාල් රෙවාන් වික්රමසූරිය දුන් පිළිතුර
රාධිකා ඔබේසේකරගේ මෙම ද්විත්ව භූමිකාව, අභ්යන්තර නීතිමය පාලනය බිඳවැටීම මෙන්ම තනතුරු දෙකටම අයදුම් කළ සුදුසුකම්ලත් අයදුම්කරුවන් නොමඟ යැවීම පිළිබඳව HariDeshayaLk විසින් වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් රෙවාන් වික්රමසූරියගෙන් (Revan Wickramasuriya) විමසීමක් කරන ලදී.
එහිදී අධ්යක්ෂ ජනරාල්වරයා ප්රකාශ කර සිටියේ: “මෙම ප්රශ්නගත පත්වීම පිළිබඳව ඉදිරියේදී පැවැත්වෙන අධ්යක්ෂ මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා කර, ඊට අදාළ නිල පිළිතුර ලබා දෙනවා” යනුවෙනි.
මතුවන බරපතල ගැටලුව: අධ්යක්ෂ මණ්ඩලය රැස්වෙන්න මාසයක් කල් යන්නේ ඇයි?
කෙසේ වෙතත්, අධ්යක්ෂ ජනරාල්වරයාගේ මෙම ප්රකාශය තුළින් තවත් බරපතල පරිපාලනමය ගැටලුවක් මතු වේ.
ඩොලර් බිලියන ගණනක විදේශ ආයෝජන ගලා ඒමට නියමිත, එදිනෙදා සංකීර්ණ වාණිජ සහ නියාමන තීන්දු ගත යුතු රටේ ප්රධානතම ආර්ථික කේන්ද්රස්ථානයක අධ්යක්ෂ මණ්ඩල රැස්වීමක් පැවැත්වීමට මාසයකට වැඩි කාලයක් ගතවීම කෙතරම් ප්රායෝගිකද?
රටේ ප්රමුඛතම ආයෝජන කලාපයේ ප්රතිපත්ති සම්පාදනය කරන අධ්යක්ෂ මණ්ඩලය රැස්වීමට මෙතරම් දිගු කාලයක් ගතවන්නේ නම්, එතෙක් රාධිකා ඔබේසේකර වැනි නිලධාරිනියන් තමන්ගේ තීන්දු තමන් විසින්ම නීත්යානුකූල කරගනිමින් ගෙන යන මෙම ඒකපාර්ශ්වික ක්රියාවලියට පාලනයක් තිබේද?
තනතුරු දෙකටම නිසි සුදුසුකම් සපුරා අයදුම් කළ ප්රවීණයන් නොමඟ යවමින්, තමන් ගන්නා වාණිජ තීන්දු තමන් විසින්ම නීත්යානුකූල යැයි සහතික කරගන්නා මෙම අත්තනෝමතික ක්රමවේදයට තිත තබා, වරාය නගරය තුළ විනිවිදභාවයෙන් යුත් විධිමත් බඳවා ගැනීමක් හා ස්වාධීන නීතිමය යාන්ත්රණයක් ස්ථාපිත කරන තුරු HariDeshayaLk මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවේ!



