රාජපක්ෂ පාලන සමයේ නාවික හමුදා නිල ඇඳුමට මුවා වී රාජ්ය බලය සහ මහජන මුදල් අවභාවිත කරමින් ගොඩනැඟූ කළු සල්ලි අධිරාජ්යයේ සැබෑ පැටිකිරිය ඊයේ (15) කොළඹ මහාධිකරණය හමුවේ අමු අමුවේ හෙළිදරව් විය.

තමන් උපයාගත් ආකාරය ඔප්පු කිරීමට කිසිදු නීත්යානුකූල මූලාශ්රයක් නොමැති කෝටි ප්රකෝටි ගණනක අයථා වත්කම් හා මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙවැනි පුත් යෝෂිත කණිෂ්ක රාජපක්ෂට එරෙහිව පවරා ඇති නඩුවේදී, නාවික හමුදාවේ ඉහළ නිලධාරීන් විසින්ම ඉදිරිපත් කළ නිල ලේඛන හමුවේ විත්තිය සම්පූර්ණයෙන්ම නිරුත්තර වන තත්ත්වයක් නිර්මාණය විය. කොළඹ මහාධිකරණ විනිසුරු උදේෂ් රණතුංග මහතා ඉදිරියේ මෙම නඩුව විභාගයට ගැනිණි.
වසර 10ක සේවයටම ලක්ෂ 51යි: එතකොට CSN හැදුවේ සුරංගනා කතාවලින්ද?
සාමාන්ය රණවිරුවන්ගේ දහඩිය මහන්සිය පසෙක තබා තමන්ට පමණක් හිමි වූ ‘රාජකීය වරප්රසාද’ භුක්ති විඳි යෝෂිතගේ සැබෑ ආදායම් තත්ත්වය පැමිණිල්ලේ 124 වන සාක්ෂිකරු විසින් අධිකරණයට ඉදිරිපත් කළ සංඛ්යාලේඛන මඟින් රටටම හෙළි කළේය. 2006 වසරේ සිට 2016 පෙබරවාරි දක්වා වූ වසර දහයක සමස්ත සේවා කාලය තුළදීම යෝෂිත රාජපක්ෂට නාවික හමුදාවෙන් ගෙවා ඇත්තේ රුපියල් 5,150,626ක (රුපියල් ලක්ෂ පනස් එකක) මුදලක් පමණි. ඒ සියලු වැටුප් හා මූලික දීමනා ද ඇතුළත්වය.
එපමණක් නොව, විත්තියේම නීතිඥවරුන් ඇසූ හරස් ප්රශ්න හමුවේ 122 වන සාක්ෂිකරු වූ නාවික හමුදා කෝමදෝරු ගාමිණී ප්රියදර්ශන මහතා අනාවරණය කළේ, 2016 දෙසැම්බර් මාසයේදී යෝෂිතගේ මූලික වැටුප ලෙස සටහන්ව තිබුණේ රුපියල් 16,500ක මුදලක් බවත්, ඉන් රුපියල් 110ක් කපාහැර තිබූ බවත්ය.
මසකට රුපියල් දහසය දහස් පන්සියයක සොච්චම් වැටුපක් ලබමින්, දස වසරකටම ලක්ෂ 51ක් උපයාගත් පුද්ගලයෙකුට:
- බිලියන ගණනින් ධනය ගලාගිය, අතිනවීන විකාශන මැදිරි සහිත CSN (Carlton Sports Network) රූපවාහිනී නාලිකාවක් ගොඩනැඟීමට,
- සුපිරි නගරවලින් ඉඩකඩම්, මන්දිර සහ නිවාස මිලදී ගැනීමට,
- කෝටි ගණනින් මුදල් සංසරණය වූ අභිරහස් බැංකු ගිණුම් නඩත්තු කිරීමට,
මුදල් ලැබුණේ කොහෙන්ද? මේවා දහඩිය මහන්සියෙන් හරිහම්බ කළ මුදල් නොව, රාජ්ය බලය යොදාගනිමින් ජනතාවගේ මුදල් කොල්ලකා සිදුකළ නින්දිත මූල්ය වංචාවන් බවට මීට වඩා සාක්ෂි අවශ්ය නොවේ.
හමුදාපති ලවා අමාත්යාංශයෙන් අනුමත කරගත් ‘ඩොලර් සහ පවුම්’ සංග්රහ
විදේශ පාඨමාලාවලට සහභාගී වීමේදී අමතර දීමනා ලැබුණු බව පෙන්වා මෙම අයථා වත්කම් සාධාරණීකරණය කිරීමට විත්තියේ ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා දැරූ උත්සාහය ද සාක්ෂි හමුවේ පාරාවළල්ලක් විය. එහිදී හෙළි වූයේ:
- පාඨමාලා ගාස්තු සඳහා බ්රිතාන්ය පවුම් 20,362 ක්,
- කෑම බීම වෙනුවෙන් පමණක් බ්රිතාන්ය පවුම් 4,177.80 ක්,
වශයෙන් රජයේ මහජන මුදල් කාබාසිනියා කර ඇති බවයි.
රජයේ අධි නීතිඥ ඔස්වල්ඩ් ලක්ෂ්මන් පෙරේරා මහතා නැගූ තියුණු ප්රශ්න හමුවේ සාක්ෂිකරු අනාවරණය කළේ, සාමාන්ය නාවික නිලධාරීන්ට අහිමි වූ මෙම දැවැන්ත විදේශ මුදල් ප්රතිපාදන එවකට හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා විසින් අනුමත කරවාගෙන ඇත්තේ සෘජුවම මහජන ආරක්ෂක හා සාමය පිළිබඳ අමාත්යාංශයේ ලේකම්වරයා හරහා බවයි. රාජපක්ෂ පවුලේ දේශපාලන බලය හමුවේ හමුදාපතිවරුන් සහ රාජ්ය ලේකම්වරුන් තමන්ගේ පෞද්ගලික අතකොළු කරගනිමින් රාජ්ය භාණ්ඩාගාරය මංකොල්ලකෑ තරම මෙයින් පැහැදිලි වෙයි.
වත්කම් බැරකම්වල සඟවාගත් කළු සල්ලි නීතිය හමුවේ හිරවෙයි
2009 සිට 2015 දක්වා කාලය තුළ යෝෂිත ඉදිරිපත් කළ ව්යාජ වත්කම් බැරකම් ප්රකාශ පිළිබඳව නාවික හමුදා කපිතාන් නුවන් තුෂාර අරන්දල මහතා සාක්ෂි දෙමින් මෙම වංචාවේ සුලමුල දිගහැරියේය. හිටපු නාවික හමුදාපති ටී. සිංහයියා මහතා නිකුත් කළ ලේඛන ද මෙහිදී සාක්ෂි ලෙස ඉදිරිපත් විය. මීට අමතරව නාවික හමුදා ලේකම් කාර්යාල නිලධාරීන් තිදෙනෙකු, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ විධායකයෙකු, නුගේගොඩ දිසා අධිකරණයේ ලිපිකරුවෙකු සහ ව්යාපාරිකයෙකු සාක්ෂි ලබා දෙමින් යෝෂිතගේ පැටිකිරිය නිරාවරණය කළහ.
අධිකරණය මඟහැර සිටි 89 වැනි සාක්ෂිකරුට වහාම සිතාසි නිකුත් කිරීමට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා, පැමිණිල්ලේ සාක්ෂිකරුවන් 12 දෙනෙකුට (අංක 38, 129, 12, 13, 130, 66, 119, 170, 171, 84, 86 සහ 87) ලබන 30 වැනිදා පෙනී සිටින ලෙස දැඩිව අවවාද කළේය. වැඩිදුර සාක්ෂි විභාගය ඔක්තෝබර් 30 වන දිනට කල් තැබිණි.
CSN නාලිකාව ඇතුළු තමන් ගොඩනැඟූ වත්කම් අධිරාජ්යය පිටුපස තිබූ කළු සල්ලි සහ මහජන මුදල් කොල්ලය තවදුරටත් තාක්ෂණික තර්ක පිටුපස සඟවා තැබිය නොහැකි බව අධිකරණය හමුවේ පැහැදිලිව ඔප්පු වෙමින් පවතී.



