Latest Posts

“සතා මැරුණොත් නඩු දාන්න!” – SriLankan Airlines අතරමං කළ ‘සිම්බා’ සහ මගී තරුණියගේ සංවේදී කතාව!

අතින් ගෙනයනවා යැයි අමතර ගාස්තු ගසාකා, Cable Ties නොදමා පූසාව බෑගේජ් බෙල්ට් එකට විසි කළ හැටි සහ දොර ඇරී හිස් කූඩය ආ පසු වරද වසන් කළ SriLankan – dnata සාපරාධී වගකීම් විරහිතභාවය නිල ඊමේල් පාපොච්චාරණ සහිතව මෙන්න!

– විශේෂ ගවේෂණාත්මක වාර්තාකරුවෙකු විසිනි –

තමන් ආසියාවේ ආඩම්බරය යැයි ලෝකය හමුවේ පුරසාරම් දොඩන ශ්‍රීලංකන් ගුවන් සේවයේ (SriLankan Airlines) සහ ඔවුන් යටතේ ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ (DXB Terminal 1) භූමි මෙහෙයුම් හසුරුවන dnata ආයතනයේ සැබෑ නිරුවත සහ සාපරාධී නොසැලකිල්ල හෙළිදරව් කෙරෙන නවතම නිල ලේඛනය (Case Reference: UL179841) HariDeshaya.lk වෙත මේ වන විට ලැබී තිබේ.

දෙරටක රාජ්‍ය අමාත්‍යාංශ මට්ටමේ නීතිමය අවසරයන් සියල්ල සපුරා, සම්පූර්ණ මුදල්ද ගෙවා භාරදුන් සුරතල් පූසාව ගුවන්තොටුපොළ බිමේ අතරමං කර, ඒ ගැන සාධාරණය ඉල්ලූ මගී තරුණියකට “සතා මැරුණොත් අපිට විරුද්ධව නඩු දාන්න!” යනුවෙන් මුහුණටම දමා ගැසූ නිලධාරීන්ගේ කෲර වගකීම් විරහිතභාවය පිටුපස වූ සැබෑ කුමන්ත්‍රණය මෙමගින් මුළුමනින්ම පුපුරා ගොස් ඇත.

අතින් ගෙනයනවා යැයි අමතර මුදල් අරන් බෑගේජ් බෙල්ට් එකට දැම්මේ ඇයි?

නවතම පැමිණිලි ලේඛන මගින් අනාවරණය වන පරිදි, සත්ත්වයා ගුවන් යානය වෙත ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් මගියා සහ ගුවන් සේවය අතර වූ ප්‍රධාන ගිවිසුම අමු අමුවේ උල්ලංඝනය කර තිබේ:

  1. අතින් රැගෙන යාමට (Hand-carried) අමතර මුදලක් ගෙවීම: සාමාන්‍ය බෑග් යන කන්වේයර් බෙල්ට් (Baggage Conveyor Belt) ඔස්සේ සත්ත්ව කූඩය නොයවා, එය සේවකයෙකු විසින් සුරක්ෂිතව අතින් ගෙනයාම (Hand-carried to the cargo area) වෙනුවෙන් මගියා විසින් විශේෂ අමතර ගාස්තුවක්ද ගෙවා තිබුණි.
  2. කේබල් ටයි (Cable Ties) නොදමා සිදුකළ සාපරාධී නොසැලකිල්ල: ස්කෑන් කිරීමෙන් පසු කූඩයේ දොර අතිරේක ප්ලාස්ටික් කේබල් ටයි (Plastic Cable Ties) මගින් සිරකර ආරක්ෂිතව අගුළු ලෑම අනිවාර්ය ජාත්‍යන්තර ක්‍රියාපටිපාටියක් වුවද, dnata සහ ශ්‍රීලංකන් සේවකයින් එය මුළුමනින්ම පැහැරහරිමින් හුදෙක් කූඩයේ දොර පමණක් වසා දමා ඇත!
  3. හිස් කූඩය දොර ඇරී බෙල්ට් එකෙන් මතුවීම: අතින් ගෙනයනවා යැයි පොරොන්දු වී මුදල් ලබාගෙන, සත්ත්වයා සහිත කූඩය සාමාන්‍ය බෑගේජ් බෙල්ට් එක දිගේ යවා ඇති අතර, බෙල්ට් එක කෙළවරට කූඩය පැමිණෙන විට කූඩයේ දොර ඇරී තිබී ඇති අතර සත්ත්වයා එහි සිට නැත! කූඩය කැඩී හෝ බිඳී නොතිබූ අතර, කේබල් ටයි නොදමා නොසැලකිලිමත් ලෙස බෙල්ට් එකේ යැවීම නිසා සතා ඉන් පැනගොස් ඇති බව තහවුරු විය.

සියලු නෛතික ලියකියවිලි සම්පූර්ණයි: මගියා නීතිය අකුරටම ඉටුකළ පසුබිමක්!

  • ශ්‍රී ලංකා රජයේ නිල පූර්ව ආනයන අවසරය (Pre-clearance Permit): ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ (DAPH) පශු වෛද්‍ය නියාමන කටයුතු අධ්‍යක්ෂවරිය විසින් නිකුත් කළ නිල ආනයන බලපත්‍රය (Permit No: LF/26/224).
  • UAE අමාත්‍යාංශ සෞඛ්‍ය සහතිකය: එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දේශගුණික විපර්යාස හා පරිසර අමාත්‍යාංශය මගින් නිකුත් කළ නිල පශු වෛද්‍ය සහතිකය (Verification Code: 349-3324).
  • ජාත්‍යන්තර මයික්‍රොචිප් අංකය: අතුරුදන් වූ අවුරුදු දෙකක් වයසැති පර්සියානු වර්ගයේ, තැඹිලි පැහැති ‘සිම්බා’ගේ (Simba) සිරුරේ ජාත්‍යන්තර 90101000226744 දරන මයික්‍රොචිප් එක තැන්පත් කර තිබුණි.
  • අයකළ අධික මුදල: කිලෝග්‍රෑම් 7ක බරින් යුත් කූඩය වෙනුවෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය එක්සත් අරාබි එමීර් ඩිරාම් 840ක් (AED 840 – රුපියල් 70,000කට අධික) මුදලින්ම (CASH) අයකර ගෙන තිබුණි (Excess Baggage Ticket – 603 4510734071 / Booking Ref: 55QATP).

“Baggage Area වල CCTV නෑ” කීම සහ “මැරුණොත් නඩු දාන්න” කීමේ ම්ලේච්ඡ නාටකය!

2026 ඔක්තෝබර් 11 වන දින UL 226 දරන ශ්‍රීලංකන් ගුවන් යානයට (Seat: 30H) ගොඩවීමට සූදානම්ව සිටි මගී තරුණිය වෙත රාත්‍රී 10:18 සිට ඇමතුම් ලබාදුන් ශ්‍රීලංකන් නියෝජිතයා සතා නැතිවූ බව පැවසීය.

කූඩය කඩාගෙන යා නොහැකි බැවින් බෑගේජ් බෙල්ට් එක ආශ්‍රිත CCTV බලන්නැයි මගියා බැගෑපත්ව ඉල්ලා සිටියදී, ශ්‍රීලංකන් නියෝජිතයා WhatsApp හරහා දුන් පිළිතුර වූයේ:

“Miss, ලංකාව හරි ඕනෑම රටක අයට එක වගේ සලකන්නේ. ඔයා ඊයේ දැක්කනේ අපි හැම තැනම බැලුවා. Baggage area වල CCTV නැහැ. තාම හොයනවා.”

ලෝකයේ අංක එකේ ඩුබායි ගුවන්තොටුපොළේ බෑගේජ් බෙල්ට් එක ළඟ CCTV නැතැයි කීමට තරම් මොවුන් නිර්ලජ්ජිත විය! ගුවන් ගමන මඟහැරී පැය 28ක් පුරා ගුවන්තොටුපොළේ සිරවී සිටි මගී තරුණිය, තම සතාව සොයාගත් පසු ලංකාවට එවන බවට ලිඛිත සහතිකයක් ඉල්ලූ විට ශ්‍රීලංකන් නිලධාරියා පවසා ඇත්තේ “මෙහෙන් Document දෙන්න බෑ, Colombo Airport එකෙන් ගන්න” යනුවෙනි.

අනතුරුව ඩුබායි ගුවන්තොටුපොළ කළමනාකාරීත්ව නියෝජිතයා හමුවේ, “මගේ පූසා මැරිලා හිටියොත් මොකද කරන්නේ?” යනුවෙන් මගියා සෘජුව ප්‍රශ්න කළ අවස්ථාවේදී ඔහු දුන් පිළිතුර වූයේ:

“If the cat is dead, madam, you can file a lawsuit against us.” (සතා මැරිලා හිටියොත් නෝනා, ඔයාට පුළුවන් අපිට විරුද්ධව නඩු දාන්න!)

සජීවී සතා “Delayed Bag” එකක් කර, දින 12කින් එන්නැයි කියන ශ්‍රීලංකන් නිලධාරිවාදය!

කටුනායක ගුවන්තොටුපොළට (BIA) පැමිණ ශ්‍රීලංකන් බෑගේජ් අංශයට දැමූ නිල පැමිණිල්ලේදී (PIR Ref: CMBUL60305/13OCT26/0025GMT), අතුරුදන් වූ සජීවී සතාව ලේඛනගත කර ඇත්තේ “Delayed Bag” (ප්‍රමාද වූ ගමන් මල්ලක්) ලෙසය! එමෙන්ම යටින් “මෙම වාර්තාවෙන් කිසිදු වගකීමක් භාර නොගනී” යනුවෙන් දමා නීතියෙන් ලිස්සා යාමටද උත්සාහ කළහ.

ඉන් නොනැවතී, මගී තරුණිය විසින් ශ්‍රීලංකන් පාරිභෝගික කටයුතු අංශයට ([email protected]) යොමුකළ ලිඛිත පැමිණිලිවලට අදාළව නවතම Case Reference අංකය (UL179841) නිකුත් කරමින් ශ්‍රීලංකන් පාලනාධිකාරිය පවසන්නේ:

“Our team is working on your query and will get back to you with a resolution within 12 working days…”

ජීවියෙකු ගුවන්තොටුපොළ බිමේ අතරමං කර, උන්හිටිතැන් නැතිව සිටින මොහොතක, සති අන්ත සහ පෝය නිවාඩු දින ගණන් කරමින් දින 12ක් බලාසිටින්නැයි කීමට තරම් ශ්‍රීලංකන් ගුවන් සේවය සංවේදීභාවයෙන් තොර වී තිබේ!

එපමණක් නොව, ඩුබායි ස්ථාන කළමනාකාරිනිය නිල ඊමේල් මගින් ප්‍රවාහනයේදී සතා නැතිවූ බව පිළිගනිමින් වරද dnata පිට පටවා අත හෝදාගැනීමට දරන උත්සාහය කිසිසේත් පිළිගත නොහැක.

HariDeshaya.lk නඟන ප්‍රශ්නාවලිය:
ශ්‍රීලංකන් බලධාරීනි, පිළිතුරු දෙව්!

  1. අතින් ගෙනයනවා යැයි අමතර මුදල් ලබාගෙන කූඩය බෑගේජ් බෙල්ට් එකට දැම්මේ ඇයි? අනිවාර්ය ප්ලාස්ටික් Cable Ties නොදමා සතා සහිත කූඩය යැවූ සාපරාධී නිලධාරියා කවුද?
  2. දොර ඇරී හිස් කූඩය එනතුරු නිලධාරීන් කළේ මොනවාද? සතා පැනගිය පසු “CCTV නෑ” කියා මගියාට අමූලික බොරු කීවේ සත්‍ය වසන් කිරීමට නොවේද?
  3. ජීවියෙකු අතුරුදන් වීම “Delayed Bag” එකක් ලෙස සටහන් කර, දින 12ක් යනතුරු නිහඬව සිටින්නේ සතා මියයන තුරුද?
  4. “මැරුණොත් නඩු දාන්න” කියන්න තරම් බලධාරීන් උද්ධච්ච වූයේ කාගේ හයියෙන්ද? මගියා මුදල් ගෙවූ ශ්‍රීලංකන් ගුවන් සේවය මෙහි සෘජු වගකීම භාරගෙන මගියාට සාධාරණය ඉටුකරන්නේ කවදාද?

අගතියට පත් මගී තරුණියගේ ආදරණීය ‘සිම්බා’ (Simba) නිරුපද්‍රිතව සොයා දෙන තෙක් මෙන්ම, මෙම බරපතළ නොසැලකිල්ලට සෘජුව වගකිවයුතු SriLankan Airlines සහ dnata නිලධාරීන්ට එරෙහිව නීත්‍යානුකූල හා සාධාරණ පියවර ගන්නා තුරු HariDeshaya.lk අප මෙම සිදුවීම පිළිබඳව අඛණ්ඩව දැඩි විමසිල්ලෙන් පසුවන්නෙමු.

Latest Posts

spot_imgspot_img