HariDeshaya.lk දෙවන හෙළිදරව්ව
ශ්රී ලංකාවේ ප්රමුඛතම රාජ්ය බැංකුවක් වන මහජන බැංකුව සහ මෙරට මූල්ය දැවැන්තයෙකු වන LOLC සමූහය අතර සිදුවූ බව කියැවෙන රුපියල් බිලියන 20ක (කෝටි 2,000ක) දැවැන්ත ණය පහසුකම පිළිබඳ HariDeshaya.lk අප විසින් සිදුකළ මූලික හෙළිදරව්වත් සමඟ රටේ මූල්ය ක්ෂේත්රය දැඩි කැලඹීමකට ලක්විය. දිගින් දිගටම එල්ල වූ මහජන සහ මාධ්ය ප්රශ්න කිරීම් හමුවේ නිහඬව සිටිය නොහැකි වූ තැන, LOLC සමාගම මාධ්ය වෙත විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ප්රකාශ කළේ අදාළ ණය පහසුකම 100%ක්ම ඩොලර් තැන්පතුවකින් ආවරණය වන බවයි.

එහෙත්, එම නිවේදනය වචන හරඹවලින් රට නොමඟ යැවීමට ගත් උත්සාහයක්ද යන සැකය මතු වන්නේ ඇයි?
තමන් සතු විදේශ විනිමය වත්කම් රුපියල් බවට පත් නොකර, ඒ මත දේශීය ණය ලබාගැනීම ජාත්යන්තර මූල්ය සම්ප්රදායක් බව කියමින් LOLC සමාගම සිය පැහැදිලි කිරීම සාධාරණීකරණය කිරීමට වෙහෙසෙයි. එපමණක් නොව, තොරතුරු වාර්තා කරන පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවටද අනතුරු අඟවයි.
නමුත්, ලක්ෂ සංඛ්යාත සාමාන්ය ජනතාවගේ දහඩිය මහන්සිය රැඳි රාජ්ය බැංකුවක් සම්බන්ධ ගනුදෙනුවකදී නීතිමය තර්ජනවලින් මහජන සුපරීක්ෂාව යටපත් කළ හැකිද? ඔවුන්ගේම නිවේදනයෙන් හිතාමතා වසන් කළ, රටට හෙළිදරව් විය යුතු තීරණාත්මක කරුණු 4ක් HariDeshaya.lk අප මෙසේ කෙලින්ම ප්රශ්න කරමු!
- බැංකු සභාපති ප්රතික්ෂේප කරද්දී LOLC “පැහැදිලි ගනුදෙනුවක්” කියන්නේ කාගේ ලියවිලි ගැනද?
මහජන බැංකුවේ සභාපතිවරයා මීට පෙර මාධ්ය හමුවේ ප්රකාශ කළේ, අන්තර්ජාලයට කාන්දු වූ 2026 සැප්තැම්බර් 04 දිනැති LOLC Mauritius Holdings අධ්යක්ෂ මණ්ඩල ලේඛනයේ සඳහන් කරුණු සහ බැංකුව සතු තොරතුරු අතර කිසිදු ගැළපීමක් නොමැති බවයි. බැංකුව එවැනි ණයක් “දැනට ලබා දී නැති බව” ද ඔහු පැවසීය.
- අදාළ ඩොලර් තැන්පතුව ඇත්තටම මහජන බැංකුවේම පවතින්නේ නම් සහ ගනුදෙනුව LOLC කියන තරම් පාරදෘශ්ය නම්, රාජ්ය බැංකුවේ සභාපතිවරයා එම ලියවිල්ල සහ බැංකුවේ දත්ත නොගැළපෙන බව කියන්නේ ඇයි?
- මෙහිදී රටට අසත්ය පවසන්නේ මහජන බැංකුවේ සභාපතිවරයාද? නැතහොත් අධ්යක්ෂ මණ්ඩල තීරණයක් හරහා බිලියන 20ක ණය පහසුකමක් සම්මත කරගත් LOLC සමාගමද?
- කෝටි 2,000න් දැනටමත් ලබාගෙන ඇති සැබෑ ණය මුදල කීයද?
LOLC සිය නිවේදනය පුරාම ඇපයේ ස්වභාවය ගැන පිටු ගණන් පැහැදිලි කළද, එකම එක තීරණාත්මක ඉලක්කමක් සඳහන් කිරීම හිතාමතා මඟහැර ඇත. එනම්: රුපියල් බිලියන 20ක උපරිම ණය සීමාවෙන් මේ වන විට සැබෑවටම ලබාගෙන ඇති මුදල කොපමණද?
- රුපියල් බිලියන 20න් දැනටමත් මුදල් ලබාගෙන තිබේද? නැතහොත් අදාළ පහසුකම සම්පූර්ණයෙන්ම තවමත් සක්රිය වී නැති එකක්ද?
- ලබාගත් මුදල ශුන්ය (0) නම්, එය එක් වාක්යයකින් සෘජුව ප්රකාශ නොකර “ණය සම්පූර්ණයෙන්ම ආවරණය වන එකක්” යැයි කියමින් මඟහරින්නේ ඇයි?
- මහජන බැංකුවේ තැන්පත් කර ඇති ඩොලර් ප්රමාණය කොපමණද?
රුපියල් බිලියන 20ක දැවැන්ත ණය පහසුකමක් 100%ක්ම ආවරණය වීමට නම්, අද පවතින විනිමය අනුපාතය අනුව අවම වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 65ත් 70ත් අතර මුදලක් (ඩොලර් කෝටි 6-7ක්) මහජන බැංකුවේ ස්ථිර තැන්පතුවක් ලෙස පැවතිය යුතුය.
- LOLC Mauritius Holdings සමාගම සතුව මහජන බැංකුවේ ඇත්තටම එතරම් දැවැන්ත ඩොලර් තැන්පතුවක් තිබේද?
- එහි සැබෑ වටිනාකම කීයද? එම තැන්පතුව පෙන්වා රටේ මූල්ය පද්ධතිය තුළ රුපියල් බිලියන ගණනින් ද්රවශීලතාව හසුරුවන ක්රමවේදය කුමක්ද?
- මහා පරිමාණ ණය සීමාවන් (Large Exposure Limits) උල්ලංඝනය කර නැද්ද?
ශ්රී ලංකා මහ බැංකුවේ 2024 අංක 01 දරන බැංකු පනත් විධානයන්ට අනුව, බැංකුවකට තනි ණයගැතියෙකුට හෝ සම්බන්ධිත සමාගම් සමූහයකට ලබාදිය හැකි උපරිම ණය සීමාව (Large Exposure Limit) දැඩි ලෙස නියාමනය කර ඇත.
- සාමාන්ය ව්යාපාරිකයෙකුට රුපියල් ලක්ෂ ගණනක ණයක් ලබාගැනීමට දැඩි කොන්දේසි පනවන රාජ්ය බැංකු, එක් ආයතනයකට මෙවැනි දැවැන්ත මුදල් කන්දරාවක් ලබාදීමේදී මහ බැංකු සීමාවන් උල්ලංඝනය නොවන්නේ කෙසේද?
- මේ පිළිබඳව ශ්රී ලංකා මහ බැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව (Bank Supervision Department) නිහඬව සිටින්නේ කාගේ අනුදැනුම මතද?
නීතියට මුවා වී සංඛ්යා දත්ත වසන් කිරීමට ඉඩ නොදෙනු!
ආයතනික කීර්තිනාමයට හානි වන බව පවසමින් නීතිමය තර්ජන එල්ල කිරීමෙන් පමණක් මහජන සැකය දුරු කළ නොහැක. මෙය පුද්ගලික සමාගමක අභ්යන්තර ගනුදෙනුවක් නොව, මෙරට සමස්ත ආර්ථිකය හා මහජන තැන්පතු සුරක්ෂිතභාවය හා බැඳුණු ප්රශ්නයකි.
සමාගමට සිය ස්ථාවරය සාධාරණීකරණය කිරීමට සැබෑ වුවමනාවක් තිබේ නම් කළ යුත්තේ නීතිමය තර්ජන එල්ල කිරීම නොව, අදාළ ගනුදෙනුවේ දිනය, සැබෑවටම ලබාගත් ණය මුදල, ඇපයට තැබූ ඩොලර් තැන්පතුවේ නිශ්චිත අගය සහ ඒ සඳහා මහ බැංකුවේ අනුමැතිය ලැබුණේද යන කරුණු ලේඛනගත සාක්ෂි සහිතව ප්රසිද්ධියට පත් කිරීමයි.
මහජන බැංකුවත්, LOLC සමාගමත්, ශ්රී ලංකා මහ බැංකුවත් රට හමුවේ නිහඬතාව බිඳිය යුතුය. සත්යය විනිවිදභාවයෙන් එළිදක්වන තුරු HariDeshaya.lk අප මේ සම්බන්ධයෙන් දිගින් දිගටම ප්රශ්න කරනු ඇත!



