Latest Posts

කපිලගේ මරණය යටගහන්න දැවැන්ත ගේමක්: සාක්ෂි වළලන්න කළින් දත්ත මකන්න හැදූ ‘APPLE’ නාඩගමේ රෙදි ගැලවෙයි!

— HariDeshaya විශේෂ ගවේෂණාත්මක අනාවරණය —

ශ්‍රී ලංකා ගුවන් සේවා ක්ෂේත්‍රයේ සිදු වූ දැවැන්තම ජාත්‍යන්තර මූල්‍ය කොල්ලය ලෙස සැලකෙන ‘Airbus Bribery Scandal’ හෙවත් එයාර්බස් අල්ලස් වංචාවේ ප්‍රධානතම සැකකරුවෙකු මෙන්ම ප්‍රධාන සජීවී සාක්ෂිකරුවා ද වූ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී (CEO) කපිල චන්ද්‍රසේනගේ අභිරහස් මරණය, හුදු පුද්ගලික වියෝවක් නොව බලගතු සාක්ෂි සදහටම වළලා දැමීමේ සංවිධානාත්මක මෙහෙයුමක්ද යන බරපතළ සැකය දැන් මුළුමනින්ම තහවුරු වෙමින් පවතී.

මරණය සිදුවී මාස පහක් ගතවීත් රජයේ රස පරීක්ෂක (Government Analyst) සහ පශ්චාත් මරණ පරීක්ෂණ (Post-Mortem) වාර්තා ලබා නොදී හිතාමතා කාලය මරමින් සිටි නිලධාරිවාදයේ සැබෑ නිරුවත කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී හෙළිදරව් වූයේ, මරණකරුගේ ජංගම දුරකථනයේ අතිශය තීරණාත්මක ඩිජිටල් සාක්ෂි සදහටම අතුගා දැමීමේ කාලසීමාවන් පිළිබඳව පොලිසිය දැක්වූ ලජ්ජාසහගත ප්‍රතිචාරයත් සමඟිනි.

දින 90 න් ඩේටා මැකෙනකම් පොලිසිය නිදි වැදුණේ කාගේ උවමනාවටද?

සැකකටයුතු අන්දමින් ගෙළ වැළලාගෙන මියගිය බව කියන කපිල චන්ද්‍රසේනගේ iPhone ජංගම දුරකථනය සම්බන්ධයෙන් පොලිසිය සිදු කර ඇති විමර්ශන පිළිබඳව කිසිසේත්ම සෑහීමකට පත් විය නොහැකි බව කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විවෘත අධිකරණයේදී ඉතා දැඩිව ප්‍රකාශ කළේය. පොලිසියේ මෙම මන්දගාමී හා සැකකටයුතු ක්‍රියාකලාපය පිළිබඳව පොලිස්පතිවරයාට (IGP) සෘජුවම දැනුම් දෙන බවටද මහේස්ත්‍රාත්වරයා කොළඹ අපරාධ කොට්ඨාශයට (CCD) දැනුම් දුන්නේය.

සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණය හමුවේ අනාවරණය කළේ, මරණකරුගේ ජංගම දුරකථනයේ දත්ත ලබා ගැනීම සඳහා අධිකරණ අමාත්‍යාංශය හරහා ඇමරිකාවේ Apple සමාගමට දන්වා ඇති බවයි. කෙසේ වෙතත්, අදාළ දත්ත එම සමාගම සතුව රඳවා ගන්නේ දින 90ක කාලයක් පමණක් බවත්, එම කාලසීමාව ලබන නොවැම්බර් 29 වැනිදායින් අවසන් වන බවත් විමර්ශන නිලධාරීහු අධිකරණයට දැන්වූහ.

මෙහිදී බලවත් නොසන්සුන්තාවට පත් මහේස්ත්‍රාත්වරයා, “දින 90න් පසු අදාළ ජංගම දුරකථනයේ දත්ත සදහටම නැති වෙනවාද?” යනුවෙන් පොලිසියෙන් සෘජුවම ප්‍රශ්න කළේය. ඊට පිළිතුරු දෙමින් පොලිස් නිලධාරීන් පැවසුවේ Apple සමාගමෙන් නැවතත් ඉල්ලීමක් කර ඇති නමුත් මෙතෙක් ඊට ප්‍රතිචාර ලැබී නැති බවයි.

එවන් අවස්ථාවක, මෙරට මහා පරිමාණ ජාත්‍යන්තර වංචාවක ප්‍රධාන චරිතයක මරණය සම්බන්ධයෙන් වන අතිශය සංවේදී සහ මිල කළ නොහැකි සාක්ෂි අහිමි වී යාමේ අවදානමක් මතුව තිබියදී, ඒ පිළිබඳව කඩිනමින් පොලිස්පතිවරයා හෝ නීතිපතිවරයා (Attorney General) දැනුවත් කර පියවර නොගත්තේ මන්දැයි මහේස්ත්‍රාත්වරයා විමර්ශන නිලධාරීන්ගෙන් දැඩි ලෙස ප්‍රශ්න කර සිටියේය.

සාක්ෂි අතුරුදන් කිරීමේ ‘ත්‍රිවිධ නාඩගම’: පිටුපස සිටින අදෘශ්‍යමාන හස්තය

කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණයේ ආරම්භයේ සිටම දිගහැරෙන්නේ සාමාන්‍ය විමර්ශනයක ලක්ෂණ නොව, සියලු සාක්ෂි යටපත් කිරීමේ සැලසුම් සහගත මෙහෙයුමක ලක්ෂණයි:

  1. ඖෂධ වර්ග 4 ක සාම්පල මාස පහක් යනතුරු පරීක්ෂා කරගත නොහැකි රස පරීක්ෂක දෙපාර්තමේන්තුව: ඔහු මියගිය ස්ථානයේ තිබී සොයාගන්නා ලද ඖෂධ වර්ග හතරක සාම්පල සම්බන්ධයෙන් මාස පහක් ගතවීත් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව මෙතෙක් අවසන් වාර්තාවක් ලබාදී නැත. ඊට තවත් සති තුනක් ගතවන බව පවසමින් කාලය මැරීම පිටුපස ඇත්තේ හුදු අකාර්යක්ෂමතාවක් පමණක් විය නොහැක.
  2. නොතීසි නිකුත් කරද්දීත් වාර්තා නොදෙන අධිකරණ වෛද්‍යවරයා: මරණය සිදුවී මාසයක් ඇතුළත සාක්ෂි විභාග අවසන් කර තිබියදීත්, කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියා (JMO) තවමත් පශ්චාත් මරණ පරීක්ෂණයේ අවසන් නිගමනය ලබාදී නැත. අධිකරණය මඟින් නොතීසි නිකුත් කර තිබියදීත් නිලධාරීන් මෙලෙස මුනිවත රකින්නේ කාගේ නියෝගයකින්ද?
  3. නොවැම්බර් 29 න් පසු සදහටම අළුවන ඩිජිටල් සාක්ෂි: මරණයට මොහොතකට පෙර කපිල චන්ද්‍රසේන සම්බන්ධ කරගත් දේශපාලනඥයන්, ප්‍රභූන් හෝ ඔහුට තර්ජනය කළ පුද්ගලයන් කවුදැයි දැනගැනීමට ඇති එකම මූලාශ්‍රය වන Apple දුරකථන දත්ත, නොවැම්බර් 29 වන දිනින් පසු සදහටම මැකී යන්නට ඉඩ හැර පොලිසිය බලා සිටින්නේ කාගේ උවමනාවටද?

Airbus Scandal එකේ මහ මොළකරුවන් බේරාගැනීමේ මෙහෙයුම

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට Airbus A350-900 යානා 4ක් සහ A330-900 යානා 6ක් මිලදී ගැනීමේ දැවැන්ත ගනුදෙනුවේදී, කපිල චන්ද්‍රසේනගේ බිරිඳගේ නමින් බෲනායි හි පිහිටුවා තිබූ ව්‍යාජ සමාගමකට (Shell Company) ඇමෙරිකානු ඩොලර් මිලියන 2කට ආසන්න අල්ලස් මුදලක් ගලා ආ බව බ්‍රිතාන්‍යයේ Serious Fraud Office (SFO) මඟින් නිල වශයෙන් තහවුරු කළේය. එම ගනුදෙනුව සම්පූර්ණ වූයේ නම් තවත් ඩොලර් මිලියන 14කට වැඩි අතිරේක කොමිස් මුදලක් බෙදී යාමට නියමිතව තිබිණි.

2020 දී මුදල් විශුද්ධිකරණ පනත යටතේ CID අත්අඩංගුවට පත්ව පසුව ඇප මත සිටි කපිල චන්ද්‍රසේන යනු එම ගනුදෙනුවේ හුදු අතරමැදියෙකු පමණි. ඩොලර් මිලියන ගණනක අල්ලස් මුදල් බෙදී ගියේ කා අතරේද, අමාත්‍ය මණ්ඩල අනුමැතිය සහ රාජ්‍ය අනුග්‍රහය ලබාදුන් මෙරට දේශපාලන මහ මොළකරුවන් කවුද යන්න හෙළිදරව් කිරීමට සිටි එකම සජීවී සාක්ෂිකරු කපිල චන්ද්‍රසේනයි.

ඔහුගේ මරණයත් සමඟ එම ප්‍රභූන් සියල්ල සුසුම් හෙළන්නට ඇත. දැන් ඔවුන් උත්සාහ කරන්නේ රස පරීක්ෂක වාර්තා, පශ්චාත් මරණ වාර්තා සහ ජංගම දුරකථන දත්ත දින 90 කල් ඉකුත්වීමේ උගුලකට හසුකර, මරණය සාමාන්‍ය ‘සියදිවි නසාගැනීමක්’ හෝ ‘ස්වාභාවික රෝගී තත්ත්වයක්’ ලෙස හංවඩු ගසා නඩුව වසා දැමීමටද?

රටේ ජාතික ධනය බිලියන ගණනින් කොල්ලකෑ මහා වංචාවක ප්‍රධාන සාක්ෂිකරුගේ මරණය සාමාන්‍ය ලිපිගොනුවක් ලෙස යටපත් කිරීමට පොලිසියට හෝ නිලධාරිවාදයට ඉඩ නොතැබිය යුතුය. යුක්තිය පසිඳලීමේ පද්ධතිය තුළ සැඟවී සිටින බළල් අත් කවුද යන්න නීතිය හමුවේ පමණක් නොව රට හමුවේද වහාම හෙළිදරව් විය යුතුය!

Latest Posts

spot_imgspot_img