රාජ්‍ය බුද්ධි සේවයේ සහ හමුදා බුද්ධි අංශයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය (OHCHR) විසින් ශ්‍රී ලංකා රජය වෙත යොමු කර ඇති ලිපිය, මෙරට නීතියේ ආධිපත්‍යය සහ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය පිළිබඳව බරපතළ ප්‍රශ්නාර්ථයක් මතු කරයි.

OHCHR ලිපිය මගින් දක්වන්නේ මෙය හුදෙක් එක් පුද්ගලයෙකුගේ අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් පමණක් නොව, සමස්ත පද්ධතියේම පවතින දුර්වලතා සහ අක්‍රමිකතා පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාව දක්වන දැඩි අවධානය මනාව පිළිබිඹු කරන්නක් බවය.
2019 පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ 2026 පෙබරවාරි 25 වන දින ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව ලිපියේ දැක්වේ. දින 90ක රැඳවුම් නියෝගයක් මත ඔහුව රඳවා තබාගෙන ඇත්තේ, ඔහුට එරෙහිව කිසිදු සාක්ෂියක් නොමැති බවට චෝදනා එල්ල වන පසුබිමක ය. විශේෂයෙන්ම ඔහු එම කාලසීමාව තුළ විදේශයක රාජකාරි කරමින් සිටි බවට වන නිදොස් කිරීමේ සාක්ෂි (exculpatory evidence) නොසලකා හැර ඇති බවට වන චෝදනාව, මෙම විමර්ශනවල අපක්ෂපාතීත්වය පිළිබඳව බරපතළ සැක මතු කරයි.
OHCHR වාර්තාවට අනුව, මෙම විමර්ශනයට අදාළව පවතින ගැටලු සහගතම කරුණ නම්, සලේ ට එරෙහිව විමර්ශන මෙහෙයවන ප්‍රධාන නිලධාරීන් දෙදෙනෙකුට එරෙහිවම 2024 පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම විසින් අහිතකර සොයාගැනීම් සහ නඩු පැවරීමේ නිර්දේශ ඉදිරිපත් කර තිබීමයි. එවැනි පසුබිමක් සහිත නිලධාරීන් යටතේ විමර්ශන සිදු කිරීම, යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේ ස්වාධීනත්වය සහ අපක්ෂපාතීත්වය මුළුමනින්ම උල්ලංඝනය කිරීමකි. මෙය සෘජුවම යුක්තිය ඉටුකිරීමක් නොව, පෞද්ගලික පළිගැනීමක් විය හැකි බවට OHCHR වාර්තාව තුළද සැක පළ කර ඇත.
සුරේෂ් සලේ රඳවා තබාගෙන ඇති අමානුෂික තත්ත්වයන් ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට (Nelson Mandela Rules වැනි) මුළුමනින්ම පටහැනි වන බව කියන සංවිධානය අඩි 6.5 x 4.4 කුටියක, මීයන්ගෙන් ගහන, දිවා රෑ විදුලි බුබුළු දල්වා ඇති පරිසරයක ඔහුව රඳවා තබා ගැනීම, සහ නිරුවත් කර අමානුෂික වධහිංසාවලට ලක් කිරීම, හුදෙක් තොරතුරු ලබාගැනීමේ අරමුණින් ඔබ්බට ගිය පළිගැනීමේ සහ මානසිකව බිඳවැට්ටවීමේ ක්‍රියාවලියක් බව පැහැදිලි කරයි.
එපමණක් නොව ලිපියේ මගින්, අධිකරණ වෛද්‍ය නිලධාරී සහ අධිකරණ මනෝවෛද්‍යවරයා විසින් සලේ ට පශ්චාත් කම්පන ආතතිය (PTSD) පවතින බවත්, වධහිංසාවට ලක්ව ඇති බවට වන සාක්ෂි පවතින බවත් තහවුරු කර ඇත. මේ වන විට හෘද රෝගියෙකු ලෙස ඔහු ජාතික රෝහලේ හෘද දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බවද වාර්තා වේ. වෛද්‍ය ප්‍රතිකාර නිසි පරිදි ලබා නොදීම සහ නීතීඥ සහාය ලබාගැනීමට බාධා කිරීම, වින්දිතයෙකුගේ මූලික අයිතිවාසිකම් දරුණු ලෙස කඩකිරීමකි. සලේ මහතා වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරුන් රහසිගතව හමුවීමට අවස්ථාව ලබා නොදීමද මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුය.
මෙම සිදුවීම හරහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අවභාවිතය පිළිබඳව නැවත වරක් පුළුල් සංවාදයක් මතු වී ඇත. OHCHR ලිපිය මගින් ද ශ්‍රී ලංකා රජයෙන් නැවත වරක් ඉල්ලා ඇත්තේ, මෙම පනත සංශෝධනය කරන තෙක් එය භාවිත කිරීම වහාම අත්හිටුවන ලෙසයි.
Source: slleader.lk



