සුළු හා සිල්ලර ප්‍රශ්න පවා රට ඉදිරියේ යෝධ අර්බුද සේ මවාපාමින් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) ඉදිරියේ ‘සුපිරි වීරයෙකු’ ලෙස මාධ්‍ය සංදර්ශන පවත්වන ආචාර්ය හර්ෂ ද සිල්වා, රටේ ප්‍රමුඛතම ජාත්‍යන්තර ආයෝජනය වන කොළඹ වරාය නගරයේ සිදුවන නිරුවත් අක්‍රමිකතා හමුවේ නිරුත්තරව නිහඬව සිටින්නේ තමන්ගේ පාසල් මිතුරන් හා ප්‍රභූ පැලැන්තිය ආරක්ෂා කරගැනීමේ පහත් අරමුණින්දැයි බරපතළ ප්‍රශ්නාර්ථයක් මතුව තිබේ.

සාමාන්‍ය ජාතික මට්ටමේ සුළු කාරණාවලදී පවා කැමරා ඉදිරියේ උද්වේගකර රංගනයක යෙදෙන COPF සභාපතිවරයා, මෙරටට ඩොලර් බිලියන ගණනක විදේශ ආයෝජන ආකර්ෂණය කරගත යුතු ප්රමුඛ පෙළේ ජාත්‍යන්තර ව්‍යාපෘතියක් තුළ සිදුවන අර්බුද හමුවේ අහක බලාගෙන සිටීම බලවත් සැකයකට තුඩු දෙන්නකි. ජාතික තලයේ පමණක් නොව ජාත්‍යන්තර මට්ටමින් පවා රට අපකීර්තියට පත් කරමින්, වරාය නගර කොමිෂන් සභාව (Colombo Port City Economic Commission) තුළ දිගින් දිගටම විවිධ ගැටුම් සහ අක්‍රමිකතා පුපුරා යද්දීත්, වරාය නගරයේ ලොක්කන්ව වහාම COPF කමිටුව හමුවට කැඳවා විභාග නොකරන්නේ කාගේ වුවමනාවටද? තමන්ගේම පන්තියේ සහ සමාජ කවයේ හිතවතුන් රැකගැනීමට මෙවැනි ජාතික වගකීම් පාවා දීම කොතෙක් දුරට සාධාරණද?
MBA වෙනුවට ඩිප්ලෝමා? සුදුසුකම් විගඩම හෙළිදරව්ව
මෙම පරිපාලන අර්බුදයේ කූටප්‍රාප්තිය සනිටුහන් වන්නේ වරාය නගරයේ ඉහළ පරිපාලන තනතුරු සඳහා රාධිකා ඔබේසේකර මහත්මිය පත් කර ඇති ආකාරය සහ ඊට අදාළ සුදුසුකම් දෙස බැලීමේදීය. ආයතනය විසින් ප්‍රසිද්ධ කළ නිල පුවත්පත් දැන්වීම්වලට අනුව ‘වාණිජ හා ව්‍යාපාර මෙහෙයුම් පරිපාලන අධ්යක්ෂ’ ධුරය සඳහා අත්‍යවශ්‍ය මූලික සුදුසුකම ලෙස ඉල්ලා තිබුණේ ව්‍යාපාර පරිපාලන පශ්චාත් උපාධියක් (MBA) හෝ ඊට සමාන පිළිගත් සුදුසුකමක් සමඟ වසර 10ක මෙහෙයුම් කළමනාකරණ පළපුරුද්දකි.
එහෙත් මෙහි ඇති බරපතළ විහිළුව සහ අක්රමිකතාව වන්නේ, එවන් ප්‍රබල MBA සුදුසුකමක් ඉල්ලා සිටි උසස් තනතුරකට, එවැනි සුදුසුකමක් ප්‍රසිද්ධියේ තහවුරු කිරීමට හෝ නොහැකි, නීති හා මහජන සම්බන්ධතා පසුබිමක් පමණක් ඇති අයෙකු ඔසවා තැබීමයි. පශ්චාත් උපාධි මට්ටමේ (MBA) විද්‍යාත්මක කළමනාකරණ දැනුමක් අවශ්‍ය තැනකට සාමාන්‍ය ඩිප්ලෝමා මට්ටමේ හෝ ක්ෂේත්රයට අදාළ නොවන සුදුසුකම් ආදේශ කරමින් මෙවැනි තනතුරු බෙදාදීම මෙරට ජාත්‍යන්තර ප්‍රතිරූපයට එල්ල කරන මරු පහරකි.
එපමණක්ද නොව, ඇයව නිල වශයෙන් පත් නොකර තිබියදී පවා ‘නීති අධ්යක්ෂ’ ධුරයේ නිල රාජකාරි සහ බලතල ද ඇයටම පවරා දෙමින් සමස්ත පරිපාලන ව්‍යුහයම කෙළෙසා ඇති ආකාරය ද හෙළිව තිබේ. නීති ක්ෂේත්රයේ ප්රවීණතාවක් සහ විශේෂඥ දැනුමක් සහිත ස්වාධීන නිලධාරියෙකු යටතේ පැවතිය යුතු මෙකී තනතුරුවල වගකීම් මෙලෙස තනි පුද්ගලයෙකු වටා ගොඩගසා ඇත්තේ කුමන අදෘශ්‍යමාන හස්තයක බලපෑමෙන්ද?
වහාම COPF කැඳවනු! මාධ්‍ය සංදර්ශන නවතා වගවීම ඉටු කරනු!
සුළු සිදුවීම් පවා මහා පරිමාණ ජවනිකා බවට පත් කරමින් විගණන වාර්තා දිගහරිමින් මාධ්‍ය ඉදිරියේ මොරදෙන ආචාර්ය හර්ෂ ද සිල්වා ඇතුළු කමිටුව, මේ සා විශාල ජාත්‍යන්තර ව්‍යාපෘතියක් තුළ සිදුවන නග්න නීති උල්ලංඝනය කිරීම් හමුවේ අන්ධයන් සහ බිහිරන් සේ හැසිරෙන්නේ මන්ද?
මෙවන් අත්තනෝමතික පත්වීම් සහ බලතල අනිසි ලෙස පැවරීම් මඟින් රටට අත්වන ජාත්‍යන්තර අපකීර්තිය සුළුපටු නොවේ. එබැවින් තමන්ගේ පැලැන්තියේ සහ පාසල් මිතුරුදම්වලට යට නොවී, කොළඹ වරාය නගරයේ ප්‍රධානීන් සහ මෙම පත්වීම්වලට සම්බන්ධ සියලු වගකිවයුත්තන් වහාම COPF කමිටුව හමුවට කැඳවා ජනතාව හමුවේ ප්‍රශ්න කළ යුතුය. එසේ නොමැතිව දිගින් දිගටම මේ ගැටුම මගහරිමින් සිටින්නේ නම්, හර්ෂ ද සිල්වාගේ ‘විනිවිදභාවයේ වෙස්මුහුණ’ පිටුපස ඇත්තේ හුදු පන්ති ආරක්ෂණවාදය පමණක් බව ජනතාවට තේරුම් ගැනීම අපහසු නැත.



