Latest Posts

අධිකරණයේ විකාර නඩත්තු නාඩගම: කඳු ගැහුණු නඩු භාණ්ඩ අස්කරන්න විනිසුරුවන්ටත් නිවාඩු නෑ!

ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ ඇති අකාර්යක්ෂමතාව සහ ක්‍රමවේදයන්හි අසාර්ථකභාවය නැවතත් රෙදි ගැලවෙන තරමටම ප්‍රදර්ශනය වී තිබේ. අවුරුදු ගණනාවක් තිස්සේ අධිකරණ පද්ධතිය තුළ ගොඩගැසෙන්නට හැර තිබූ නඩු භාණ්ඩ හා ලේඛන අස්පස් කරගැනීමට නොහැකිව, අන්තිමේදී අධිකරණ සේවා කොමිෂන් සභාවට සිදුව ඇත්තේ විනිසුරුවරුන්ට සහ අධිකරණ නිලධාරීන්ට නිවාඩු දිනවලත් වැඩ කිරීමට නියෝග කිරීමටය.

අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් ප්‍රසන්න අල්විස් විසින් නිකුත් කර ඇති අලුත්ම නිවේදනයකට අනුව, අධිකරණවල ගොඩගැසී පවතින නඩු භාණ්ඩ නිෂ්කාශනය කිරීම, වෙන්දේසි කිරීම සහ ඒකාබද්ධ භාණ්ඩ කළමනාකරණ තොරතුරු පද්ධතිය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් එළඹෙන 2026 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ සති අන්තවල (සෙනසුරාදා/ඉරිදා) සහ රජයේ නිවාඩු දිනවල පවා සේවයට වාර්තා කිරීමට අවසර දී (හොඳින්ම පැවසුවහොත් බලකර) ඇත.

සියලුම මහාධිකරණ විනිසුරුවරුන්, අධිකරණ නිලධාරීන් සහ කම්කරු විනිශ්චයාධිකාර සභාපතිවරුන් වෙත යවා ඇති මෙම නියෝගයෙන් පැහැදිලි වන්නේ, මෙතෙක් කල් සාමාන්‍ය රාජකාරි වේලාවන් තුළ පද්ධතිය පාලනය කරගැනීමට පාලකයින් සහ නිලධාරීන් සම්පූර්ණයෙන්ම අසමත් වී ඇති බවයි.

නිවාඩු දිනවල කාර්යාල, ලේඛනාගාර සහ නඩු භාණ්ඩ කාමර විවෘත කිරීමේදී පවා දැඩි කොන්දේසි පැනවීමට කොමිෂන් සභාවට සිදුවී ඇත්තේ නිලධාරීන් කෙරෙහි ඇති විශ්වාසනීයත්වයේ තරම පසක් කරමිනි. ඒ අනුව:

  • මහාධිකරණවල: නඩු භාණ්ඩ කාමර සහ ලේඛනාගාර විවෘත කළ යුත්තේ මහාධිකරණ විනිසුරුවරයා විසින් නම් කරන සුදුසු නිලධාරියකුගේ ඍජු අධීක්ෂණය යටතේ පමණි.
  • දිසා/මහෙස්ත්‍රාත් අධිකරණවල: නඩු භාණ්ඩ කාමර සහ ලේඛනාගාර විවෘත කිරීම දිසා විනිසුරු, මහෙස්ත්‍රාත්, අතිරේක දිසා විනිසුරු හෝ අතිරේක මහෙස්ත්‍රාත්වරයකුගේ ඍජු අධීක්ෂණයෙන් සිදුවිය යුතුය.
  • අධිකරණ කාර්යාල: විවෘත කළ හැක්කේ රෙජිස්ට්‍රාර් හෝ නියෝජ්‍ය රෙජිස්ට්‍රාර්වරයකුගේ ඍජු අධීක්ෂණය යටතේ පමණි.

සාමාන්‍ය ජනතාවගේ නඩු විසඳීමට වසර ගණනාවක් ගතවන, ගොඩගැසුණු නඩු භාණ්ඩ නිසා අධිකරණ පරිශ්‍ර කුණු ගොඩවල් බවට පත්වන තෙක් බලා සිටි බලධාරීන්, දැන් නිවාඩු දිනවල නිලධාරීන් කොන්ද කැඩෙන තෙක් වැඩට දක්කාගෙන යාමෙන් ප්‍රශ්නය විසඳීමට උත්සාහ කරයි.

දශක ගණනාවක අසාර්ථක පරිපාලනය නිසා ඇතිවූ මෙම අර්බුදයට, නිවාඩු දිනවල නඩු භාණ්ඩ අස්පස් කිරීමෙන් පමණක් විසඳුම් ලැබේවිද? නැතහොත් මෙයද තවත් එක මාධ්‍ය සංදර්ශනයක් පමණක් වේවිද?

(මූලාශ්‍රය: අරුණ)

Latest Posts

spot_imgspot_img